සෞදි අවි ගනුදෙනුවට කොංග්‍රසය විරුද්ධ වෙයි



ඇමෙරිකා රජය සහ සෞදි අරාබිය අතර සිදුවන ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ආයුධ ගනුදෙනුව නතර කිරීමේ අරමුණි ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඡන්දය ලබා දී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව එනම් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. සෙනෙට් මණ්ඩලයේ බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

යේමන යුද්ධයට මැදිවී, සෞදිය සිදු කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වන බව පෙන්වා දෙමින්, සෞදියට ආයුධ විකිණීමෙන් වැළකිය යුතු යැයි රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ දෙනාගේ ද අදහස වී තිබේ.

එපමණක් නොව, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ද සෞදි රජයටත්, ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ටත් දඬුවම් කළ යුතුයි යන්න ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අදහස වී තිබේ. ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතර සමීප මිත්‍රත්වයක් පවතී.

ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ සෞදිය සමඟ කිසිම හේතුවක් නිසා අමනාප විය නොහැකි බවය. ඒ, සෞදිය සහ ඇමෙරිකාව අතරේ සිදුවන බිලියන ගණනක් වටිනා ගනුදෙනු හේතුවෙනි.

මීට මාසයකට පෙර, සෞදියට අවි ආයුධ විකිණීම නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකන් ඩොලර් බිලියන 8 ක ආයුධ ගනුදෙනු නැවැත්වීමට කොංග්‍රස් මණ්ඩලය පියවර ගත්තත්, ජනපති ට්‍රම්ප් සිය ජනාධිපති බලතල යොදා ගනිමින්, කොංග්‍රසයෙන් එල්ල වූ විරෝධය පරාජය කළේය.

අද වනවිට ඇමෙරිකාව ඉරානය සමඟ ද අර්බුදයකට පැටලී සිටී. එම අර්බුදය මුල්කොට ගනිමින්, මැදපෙරදිග කලාපයට තවත් ඇමෙරිකවන් සොල්දාදුවන් 1,000 ක් යැවීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරවයා තීරණය කළේය. සෞදිය ඉරානයේ සතුරෙකි.

ඇමෙරිකාව සෞදිය සමඟ සිදු කරන අවි ආයුධ ගනුදෙනුවලට විරෝධය දක්වමින් එය වැළැක්වීමට සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්වූයේ ඒ අනුවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS