සෙබළු 109 ක් තුවාල ලබලා



ඉරාන හමුදා පසුගිය ජනවාරියේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ඇමෙරිකන් සෙබළුන් 109 දෙනකු බරපතල ලෙස තුවාල ලැබූ බව ඇමෙරිකන් හමුදාව ඊයේ (11) තහවුරු කළේය.

ඉරාන හමුදාව, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල කළේ පසුගිය ජනවාරි 3 වැනිදාය. ඒ, ඇමෙරිකා හමුදාව, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමාන් මරා දැමීමෙන් පසු පළිගැනීමටය.

ඇමෙරිකන් සොල්දාදුවන් 109 දෙනා තුවාල ලබා ඇත්තේ, ඉරාන හමුදා ඉරාකයේ ‘අනි අල් අසාද්’ ඇමෙරිකන් ගුවන් කඳවුරට පහර දුන් අවස්ථාවේදීය. එම සොල්දාදුවන් 109 දෙනා බරපතල ලෙස මොළෙයේ ආබාධවලට ලක් වී සිටින බවත්, ඔවුන් මේ වනවිට ඇමෙරිකා හමුදා රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ද අවධාරණය කර ඇත.

ඉරානය ඇමෙරිකන් කඳවුරුවලට පහර දුන් අවස්ථාවේදී, ට්‍රම්ප් කියා සිටියේ එයින් කිසිදු ඇමෙරිකන් සොල්දාදුවකුට අනතුරක් සිදු නොවුණු බවය.

ඉරාන රජයේ පවුත් සේවා කියා සිටියේ ප්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළුන් 100 කට ආසන්න පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූ බවය. කෙසේ නමුත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුව කියා සිටියේ, ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළුන් කිහිප දෙනකු තුවාල ලැබූ බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS