සිවිල් වැසියන්ට බලය භාවිත කරලා



ඉකුත් වසරේ ගාසා තීරයේ පැවැති විරෝධතාවලදී ඊශ්‍රායල හමුදා වුවමනාවෙන්ම නීතිවිරෝධී ලෙස සිවිල් වැසියන්ට එරෙහිව බලය භාවිත කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිකුරාදා (22) ඊශ්‍රායලයට චෝදනා කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලද සහ තම බලය ඉක්මවා යමින් නීතිවිරෝධී පියවර ගන්නා ලද සියලු දෙනාට එරෙහිව පියවර ගන්නා බවත් වැරැදිකරුවන් අධිකරණය හමුවට ගෙනෙමින් සිවිල් වැසියන්ට යුක්තිය ඉටු කරන බවත් මානව හිමිකම් කවුන්සිලය එහිදි සඳහන් කළේය. 

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී පලස්තීනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගනිමින් එම කවුන්සිලයේ නිලධාරීහු එම කරුණු සඳහන් කළහ. 

ඉස්ලාමීය සමුළු සඳහා වූ සංවිධානය වෙනුවෙන් පාකිස්තානය එම යෝජනාව ගෙන එන ලද වගවීම යනුවෙන් එම යෝජනාව නම් කර තිබිණි. යෝජනාවට සහාය පළ කරමින් ඡන්ද 23ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 8ක් ලැබිණි. රටවල් 15 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියහ. 

ඡන්ද විමසීමේදී යුරෝපීය රටවල් අතර බෙදීමක් ද දක්නට ලැබිණි. ඇතැම් යුරෝපීය රටවල් යෝජනාවට සහාය දැක්වූ අතර ඇතැම් රටවල් යෝජනාවට ඡන්ද දීමෙන් ඉවත් ව සිටියහ. තවත් යුරෝපීය රටවල් කිහිපයක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. 

පසුගිය වසරේ සතිපතා පැවැති විරෝධතාවලදී පලස්තීන වැසියන් 189 දෙනකු ඝාතනය වී ඇති බවත් 6,100 දෙනකු තුවාල ලබා ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනාවරණය විය. එම විරෝධතාවලදී ඊශ්‍රායල හමුදා මනුෂ්‍යයත්වයට එරෙහිව අපරාධ සහ යුද අපරාධ සිදු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ලද විමර්ශනයකින් පැවැසුණි. එම යෝජනාව පදනම් කරගනිමින් පලස්තීනය සම්බන්ධ නව යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා
ටී.ආර්.ටී වර්ල්ඞ් ඇසුරිනි 

RECOMMEND POSTS