සිවිල් ගැටුම්වලින් දස දහසක් මියගිහින්...



 

යේමනයේ අර්බුදයෙන් දස දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි. 

සිවිල් ගැටුම් නිසා යේමනය තුළ දැඩි මානුෂීය අර්බුදයක් ඇති වී ඇතැයි ද ඒ කඩිනමින් පියවර ගත යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

“මම හරි සංඛ්‍යාවක් දන්නේ නැහැ. මෙතෙක් ගැටුම්වලින් දස දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. තවත් 40,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙනවා” යැයි එක්සත් ජාතීන්ගේ යේමන මානුෂීය කටයුතු සම්බන්ධීකාරක ජෙමී මැක්ගෝල්ඩි්‍රක් පැවැසීය. 

යේමන අර්බුදයට සෞදි අරාබියද මැදිහත් වී ඇත. මෙම ගැටුම්වල ඉලක්කය බවට පත් වී ඇත්තේ සිවිල් වැසියන් වීම ද කනගාටුදායක තත්ත්වයකි. 

ඒකාබද්ධ හමුදා එල්ල කරන ලද ග-ුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යන බවට සෞදි අරාබිය ඇතුළු රටවලට චෝදනා එල්ල වී ඇත. 

මේ දක්වා පැවැති ගැටුම්වලින් 4,125 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි 7,207 දෙනකු තුවාල ලබා ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමිසම නිවේදනය කර තිබිණි.

“යේමනයේ සිටින මිලියන 11කට වැඩි පිරිසකගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව ආත්ම අභිමානය තර්ජනයකට ලක් වී තිබෙනවා” යැයි ද සානා නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.  

“මොවුන් යුද අපරාධ කරනවා. යේමන වැසියන්ට එරෙහිව මොවුන් යුද අපරාධ කරනවා. මේව යුද අපරාධ පමණක් නෙමෙයි. මෙය සමූල ඝාතනයක්” යැයි මානව හිමිකම් නීතිඥයකු සහ යේමනයේ මානව හිමිකම් වෙනුවෙන් වූ සංවිධානයේ අධ්‍යක්ෂක කිම් ෂරීෆ් පැවැසුවාය. 

යේමනයේ ජනගහනය 2013 වසර වනවිට මිලියන 25ක් යැයි පැවැසිණි. ඉන් අඩක්ම මේ වනවිට තම මානව හිමිකම් අහිමි වීමේ තර්ජනයකට මුහුණ පා සිටිති. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව යේමන වැසියන්ගෙන් මිලියන 21කට වැඩි පිරිසක් කඩිනම් මානුෂීය ආධාර අවශ්‍ය බව පැවසේ.  


RECOMMEND POSTS