සිරියාවේ බෝම්බයක් පිපිරී 18 ක් මරුට



සිරියාවේ තුර්කි හමුදා පාලනය යටතේ පවතින අල් බාද් නගරයේ ට්‍රක් බෝම්බයක් පුපුරා යෑමෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පුපුරණ ද්‍රව්‍ය ඇටවූ එම ට්‍රක් රථය පුපුරා ගියේ බස් නැවැතුම්පොළක් ආසන්නයේදීය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 82 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

තුර්කිය සිරියාවට මායිම්ව පිහිටයි. සිරියානු සිවිල් යුද්ධයේ දී, ඉරානය සහ රුසියාව සිරියානු රජයට සහාය දක්වද්දී, තුර්කිය සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වයි.

කෙසේ නමුත් සිරියානු සිවිල් යුද්ධයත් සමග කරළියට ආ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ලොවට තර්ජනයක් වෙද්දී, සිරියානු රජය සහ හමුදාව සමග එක් වී, මත ගැටුම් අමතක කොට, ඉරානය, රුසියාව සහ තුර්කිය කුර්දි හමුදා ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණේය.

තුර්කි හමුදා අල් බාද් නගරය අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන තම ග්‍රහණයට නතු කර ගත්තේ 2017 වසරේදීය. ඉන්පසු නගරයේ ආරක්ෂාවට තුර්කි හමුදා රැදී සිටී.

ට්‍රක් රථ බෝම්බය පුපුරා යෑමත් සමග අවට ගොඩනැගිලි සහ නිවාස රැසකට හානි සිදුවුණු බවත් ගින්නක් ද හටගත් බවත් වාර්තා වේ. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

අල් බාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS