සිරියාවේ පල්ලියකට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරයකින් 42 ක් මරුට



සිරියාවේ ඇලෙප්පෝ නුවරට නුදුරින් පිහිටි ගම්මානයක මුස්ලිම් පල්ලියකට ඇමෙරිකන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු සිවිල් වැසියෝ හතලිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 ඉක්මවීය.

මේ බව මාධ්‍යවෙත පවසා ඇත්තේ සිරියාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයයි. ඔවුන් පවසන පරිදි ප්‍රහාරය එල්ල වෙද්දී, එම මුස්ලිම් පල්ලියේ 300 කට වැඩි පිරිසක් සිට ඇත.

පල්ලිය පිහිටා ඇත්තේ අල් ජිනේ ගම්මානයේය. අල් ජිනේ ගම්මානය පිහිටා ඇත්තේ ඇලෙප්පෝ නුවර සිට කිලෝ මීටර් 30 ක් දුරිනි. පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙද්දී, ප්‍රහාරක යානා ඊට පහර දුන් බව සිරියාවේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ සංවිධානයේ ප්‍රධානී රාමී අබ්දෙල් රහ්මාන් පවසා තිබේ.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් තමන් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව පවසා ඇති නමුත් පල්ලියට ප්‍රහාරයක් එල්ල කළ බව තහවුරු කර නොමැත.

(රොයිටර්)


RECOMMEND POSTS