සිරියාවේ කුර්දිවරුන්ට තුර්කියෙන් ප්‍රහාර



උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, තුර්කිය ප්‍රහාර ආරම්භ කර ඇත.

තුර්කිය කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මෙසේ ප්‍රහාර ආරම්භ කළේ කුර්දි සටන්කාමීන්ගේ සහායට සිටි ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් යළි ගෙන්වා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසුවය.

සිරියානු අර්බුදයට පාර්ශ්ව රැසක් සම්බන්ධ විය. ඒ සැමගේ පොදු සතුරා වූයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයයි.  රුසියාව, ඉරානය අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළේ සිරියා රජයට සහ හමුදාවට සහාය දක්වමිණි.

තුර්කිය සිරියානු අර්බුදයට මැදි වූයේ, සිරියානු රජයට විරෝධය දක්විමින් අවි අතට ගෙන සටන් වැදුණු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වමිනි.

තුර්කි සිරියානු දේශසීමාවේ කුර්දි වැසියෝ ජීවත් වෙති. මෙම කුර්දි වැසියන් නියෝජනය කරන කුර්දි සටන්කාමීන්, ඔවුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලමින් සිරියානු රජයටත් තුර්කි රජයටත් එරෙහිව සටන් වදින පිරිසකි. අයි.එස්. ත්‍රස්තවාදීන් කුර්දිවරුන්ට ද තර්ජනයක් වූ අවස්ථාවේදී, ඔවුහු අයි.එස්. ත්‍රස්තයන් සමඟ සටන් ආරම්භ කළහ.

සිරියානු රජයට විරෝධය දක්වන ඇමෙරිකාව අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේදී සහාය දැක්වූයේ කුර්දි සටන්කාමීන්ටය. කුර්දි සටන්කාමීන්ට සිරියාවේ වෙනම පාලන ප්‍රදේශයක් ලබා දෙනවා යැයි ඇමෙරිකාව පොරොන්දුවක් ද දී ඇතැයි ද පැවැසෙයි. සිරියානු අර්බුදයට ඇමෙරිකාව සම්බන්ධ වූයේ බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දීය.

වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පසුගිය කාලයේ කුර්දිවරුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී කතා වූයේ කුර්දි සටන්කාමීන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත කලාපයක් පිහිටුවීමටය. මෙම කලාපය යුද මුක්ත කලාපයක් වනු ඇතැයි පැවැසිණි.

එම කලාපය මේ වනවිට පිහිටුවා ඇති නමුත්, එම කලාපයේ රැඳී සිටින බහුතරය සිරියාවේ ගැටුම්වලින් පණ බේරාගෙන පලා ආ සිරියානු සරණාගතයන් යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. ආරක්ෂිත කලාපයේ වෙසෙන සිරියානුවන් ගණන මිලියන 3.6 ක් යැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව තමන් අමාරුවේ දැමූ බවටත් තමන්ට ද්‍රෝහි වුණු බවටත් කුර්දි සටන්කාමීහු චෝදනා නගති. තුර්කි හමුදා කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමත්, ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් සිරියාවෙන් පිටවී යෑමත්, බටහිර රටවල වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද පැවැසෙයි.

මේ අතර ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසා ඇත්තේ, කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගෙන පහර දෙන්නැයි ඇමෙරිකාව කිසිම අවස්ථාවක තුර්කි රජයට දැනුම් දී නොමැති බවය. තුර්කි රජය එම ප්‍රහාර එල්ල කරන්නේ තමන් දැනුවත් නොකර යැයි ද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත.

රාස් අල් අයින් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS