සිරියාවේ කාර් බෝම්බයකින් 15කට ආසන්න පිරිසක් මරුට



සිරියාවේ වෙරළාසන්න නගරයක් වන ජබ්ලේහ් වෙත එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 15කට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම ප්‍රදේශය සිරියානු ආණ්ඩුවේ පාලනයට යටත් ප්‍රදේශයක් යැයි ද 25 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබන්නට ඇතැයි ද මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

නගර සභා ක්‍රීඩාංගනය ආසන්නයේදී බෝම්බට පුපුරා ගොස් ඇති බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් සිරියානු රාජ්‍ය රූපවාහිනි සේවය ද වාර්තා කළේය. 

මළසිරුරු නමයක් ලද බවත් ප්‍රහාරයෙන් තුවාල ලැබූ 25 දෙනකු දැනට ප්‍රතිකාර ලබන බවත් නගරයේ රෝහලේ සෞඛ්‍ය නිලධාරියකු මාර්ගයෙන් වාර්තා කර තිබිණි. 

ප්‍රහාරයෙන් මියගියේ සිවිල් වැසියන්ද, සිරියානු රජයේ හමුදා සාමාජිකයන් ද නැතහොත් ආණ්ඩු හිතවාදී සටන්කාමීන් ද යන්න මෙතෙක් නිශ්චිත නොමැති බව එහිදි නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් පැවැසීය. 

මේ වනවිට නගරයේ ආරක්ෂාව වැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ජනාකීර්ණ ප්‍රදේශයකදී බවත් වාර්තා විය. 

දායීෂ් හෙවත් අයි.එස් ත්‍රස්තවාදීන් පසුගිය මැයි මාසයේදී එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් 170කට වැඩි පිරිසක් ජීවතක්ෂයට පත්වූහ. 

 

ඡායාරූපය රොයිටර්


RECOMMEND POSTS