සිරියාවට-රුසියාට ට්‍රම්ප්ගෙන් අනතුරු



සිරියාවේ ගුඨා පළාතේ, ඩෝමා නගරයේ වැසියන්ට එල්ලවුණු රසායනික විස වායු ප්‍රහාරය තරයේ හෙළා දකිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊසිරියානු රජයටත්, සිරියානු රජයට සහාය දක්වන රුසියාවටත් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඩෝමා නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදා, ක්ලෝරීන් විස වායු ප්‍රහාරයක් එල්ල කළ බව විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා කළේ ඊයේ දිනයේය.

විස වායු ප්‍රහාරයෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 77 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා පැවැසෙයි. සිය ගණනක් රෝගී වී සිටිති.

‘සිරියානු රජයේ හමුදාව විසින් වටකරනු ලැබ ඇති ගූඨ පළාතේ නගරයකට විස වායු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් එයින් මියගිහින්. සිරියානු හමුදාව වට කර ඇති නිසා ගූඨා පළාතට බාහිර කිසිවකුට ඇතුළු වෙන්න බැහැ. මේ ප්‍රහාරය කිසිසේත් අනුමත කරන්න බැහැ. මේ ප්‍රහාරය වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්න කාට කාටත් සිද්ධ වේවි’ යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ සුපපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ඔහු සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ‘තිරිසනකු’ යනුවෙන් හැඳින්වීමට ද කටයුතු කර තිබේ.

සිරියානු අර්බුදය දිග්ගැස්සුනේ තමන්ට පෙර ජනාධිපති ධුරයේ කටයුතු කළ බැරැක් ඔබාමා නිසා යැයි ට්‍රම්ප් යළිත් වරක් චෝදනා කළේය. සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජයට ‘රතු ඉර’ පනින්න ඉඩ දී බලා සිටියේ ඔබාමා යැයි ට්‍රම්ප් පෙන්වා දෙයි.

මීට වසරකට පමණ පෙර ද සිරියාවේ ගම්මානයකට මේ අයුරින් රසායනික විස වායු ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයට විරෝධය පා, ක්ෂණික තීරණයක් ගනිමින්, සිරියානු රජයේ ගුවන් හමුදාව එම වායු ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් ඔවුන්ගේ කඳවුර පහර දී විනාශ කිරීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළේය. ඒ, සිරියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව්වලිනි. සිරියානු ගුවන් හමුදා කඳවුර විනාශ කිරීමට ටමහෝක් වර්ගයේ මිසයිල 59 ක් යොදා ගත්තේය.

එම අවස්ථාවේදී සිරියානු ජනාධිපතිට සහාය දක්වන රුසියාව කියා සිටියේ යළිත් වරක් ඇමෙරිකාව මේ අයුරින් ප්‍රහාරයක් එල්ල කළොත් රුසියාව නිහඬව බලා සිටින්නේ නැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS