සිරියාව ගැන සාකච්ඡා



සිරියාවේ අනාගතය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්, ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ, විශේෂ හමුවක් රුසියාවේ සෝචි නුවරදී පැවැත්විණි.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ, සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් ඉරානයත් තුර්කියත් එකමුතු කිරීමට රුසියානු ජනාධිපති පුටින් සමත් වුණු බවය.

සිරියානු අර්බුදයේ දී, රුසියාවේත් ඉරානයේත් සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පාලනයටය. තුර්කියේ සහාය හිමිවන්නේ අසාද් බලයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා සිරියානු විපක්ෂ දේශපාලන පක්ෂවලටය.

සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මොවුන් දෙගොල්ලන්ගේම පොදු සතුරා වෙයි. දොගොල්ලෝ එකමුතු වී සටන් කරන හෙයින්, අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට හැකියාව ලැබී තිබේ.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බලය මර්දනය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ප්‍රසංශා කරමින්, ඉරාන ජනපතිවරයා අවධාරණය කළේ සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් මුලිනුපුටා දමන තුරු සටන් අත්නොහරිය යුතු බවය. සිරියානු අර්බුදයට විදේශවලින් එල්ල වන බලපෑම් තරයේ හෙළා දැකීමට ඉරාන ජනපති රොව්හානි කටයුතු කළේය.

සිරියානු අර්බුදයට පැහැදිලි දේශපාලන විසඳුමක් අවශ්‍ය යැයි තුර්කි ජනපති පෙන්වා දුන්නේය. පුටින් ඊට එකඟ විය. සිරියානු වැසියන් අනුමත කරන දේශපාලන විසඳුමක් සකස් කළ යුතු බව ද තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

හමුව පැවැත්වූයේ සෝචි නුවර කළු මුහුද ආශ්‍රිතව පිහිටි නිවාඩු නිකේතනයේදීය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ද සෝචි නුවර නිවාඩු නිකේතනයට පැමිණ සිටින නමුත් ඔහු මෙම තුන්කොන් සාකච්ඡා සඳහා එක් වූයේ නැත.

හමුවට සමගාමීව සිරියානු ජනපතිවරයා අසාද් පුටින් සමඟත් ඉරාන ජනපති රොව්හානි සහ තුර්කි ජනපති එර්ඩෙගොන් සමඟත් සාකච්ඡා පැවැත්වීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS