සිරියානු සාම සමුළුව



සිරියාවට සාමය උදාකරදීමේ අරමුණින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ අනුග්‍රහයෙන් විශේෂ සාම සමුළුවක්, ඊයේ (27) එරට ඉස්තාන්බුල් නුවරදී පැවැත්වුණු අතර, ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහභාගී වූහ.

සිරියානු රජය වෙනුවෙන් සමුළුවට සහභාගී වූයේ එක්සත් ජාතින්ගේ සිරියානු නියෝජිතයා ලෙස කටයුතු කරන ස්ටෆාන් දෙ මිස්රූටාය.

සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට එහි අවසන් අදියරට ළං වී ඇත. අයි.එස්. ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති පළාත් සහ නගර රැසක් යළි මුදා ගැනීමට සිරියානු රජයට හැකියාව ලැබී ඇත. ඒ, රුසියාව සහ තුර්කිය පමණක් නොව, ඉරානයෙන් ද ලැබුණු සහාය හේතුවෙනි.

ත්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව ලෙස සැලකෙන්නේ ඉඞ්ලිබ් පළාතය. මෙම පළාතේ සිවිල් වැසියන් ත්‍රස්තයන්ගේ ප්‍රාණ ඇපකරුවන් වී ඇත. මෙම පළාත මුදා ගැනීමට සටන් ආරම්භ කිරීමට පෙර, රුසියාව සහ තුර්කිය එක් වී, සාම කලාපයක් නිර්මාණය කළේය. සිවිල් වැසියන්ට පමණක් නොව, ආයුද බිම තබන ත්‍රස්තවාදීන්ට පවා මෙම සාම කලාපයට යෑමට ඉඩ ලබා දුන්නේය.

සිරියාවට සදාතනික සාමයක් අවශ්‍ය බවත්, පවතින ගැටලුවලට දේශපාලනික විසඳුම් අවශ්‍ය බවත්, ඉස්තාන්බුල් නුවර සාම සමුළුව සංවිධානය කළ තුර්කි ජනාධිපතිවරයා, රුසියන් ජනාධිපති පුටින්ට, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්ට සහ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට පැහැදිලි කළේය. රාජ්‍ය නායකයන් අතර දීර්ඝ වශයෙන් ඒ ගැන සාකච්ඡා පැවැත්විණි.

සිරියානු අර්බුදයේදී රුසියාව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය නියෝජනය කරයි. තුර්කිය, සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වයි. සිරියානු රජයට එරෙහිව සටන් වදින සන්නද්ධ කල්ලි පොදු සතුරකු සේ සලකයි.

යුරෝපා සංගමය ද නියෝජනය කරමින්, සමුළුවට එක් වුණු බටහිර රටවල් වන ජර්මනිය සහ ප්‍රංශය සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනයට විරෝධය පළ කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වයි.

කෙසේ නමුත්, එම විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වුණු අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලටත් ඇමෙරිකාවටත් තර්ජනයක් වී ඇත.

සිරියානු සිවිල් යුද්ධයට, ඉරාකයේ සිට පැමිණි අයි.එස්. ත්‍රස්තවාදීන් පමණක් නොව, අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් නුස්රා ත්‍රස්තවාදීහු ද මැදිවී සිටිති.

ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ හවුල් වී සිටින අල් නුස්රා සහ කුර්දි බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවලට සහාය දක්වන බව පැවැසෙයි. කුර්දි බෙදුම්වාදී සන්නද්ධ කල්ලි තුර්කියට තර්ජනයකි. තුර්කිය සිරියානු අර්බුදයට සම්බන්ධ වූයේ ඔවුන් නිසාය.

සිරියානු අර්බුදයේ දී රුසියාව සිරියානු රජයට සහාය දක්වමින්, ඊට සම්බන්ධවීම ඇමෙරිකාවේත් මහා බ්‍රිතාන්‍යයේත් උදහසට හේතුවක් වී තිබේ. ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ද සිරියාවට සාමය උදා කිරීමෙහිලා ‘සාම සමුළු’ පැවැත්වුවත් ඒවා අසාර්ථක වී ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS