සිරියානු ජනපති හමුවුණු පුටින් නිරෝධායනයේ



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයන් කීප දෙනකු 'කොවිඩ් 19' ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමඟ ජනාධිපති පුටින් ස්වයං නිරෝධායනයට යොමු කළේ යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

නිරෝධායනයට යොමු කරද්දී, ජනාධිපතිවරයා 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කළ බවත්, එම අවස්ථාවේදී ඔහුට 'කොවිඩ් 19' ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි. ජනාධිපති පුටින්, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස ලබා ගෙන ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් 5' එන්නතය. ඒ පසුගිය මාර්තුවේදීය.

සමීපතමයන් 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු වීමටත්, නිරෝධායනයට යොමු වීමට පෙර, ජනාධිපති පුටින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමඟ මුහුණට මුහුණ හමුවක් පැවැත් වීය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මොස්කව් පැමිණියේ රුසියන් ජනාධිපතිගේ විශේෂ ආරාධනාවකට අනුවය.

පුටින් සහ අසාද් දෙදෙනා මීට පෙර එකිනෙකා හමුවී සාකච්ඡා කළේ පසුගිය වසරේ සිරියාවේදීය. අසාද් ද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා ගෙන ඇත. එන්නත් ලබා ගැනීමට පෙර අසාද් සහ බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණි.

සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් සමඟ එක්වී, ජනාධිපති අසාද්ගේ රජය පෙරළා දැමීමට අයි.එස්. සටන්කාමීන් පහර දෙද්දී, සිරියානු හමුදාවටත් සිරියානු ජනාධිපතිවරයාටත් සහාය දක්වමින් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාරය එල්ල කිරීමට රුසියාව මැදිහත් විය. රුසියාව සිරියාවට සහාය දක්වන්නේ රුසියාවේ ගුවන් හමුදා කඳවුරක් සිරියාවේ ඇති නිසාය. අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවේ අඩපණ කිරීමට රුසියාව පමණක් නොව ඉරානය ද අසාද්ගේ රජයට සහාය දැක්වීය.

තවමත් විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සටන්කාමීන් සිරියානු නගර කීපයක් අත්පත් කරගෙන සිටින අතර, එම නගර මුදාගැනීම සම්බන්ධයෙන් පුටින් සහ අසාද් අතරේ සාකච්ඡා පැවැත්විණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS