සිරියානු ගුවන් යානයක් බිම හෙළයි



සිරියාවේ ඩැමස්කස් නුවරට කිලෝ මීටර් 50ක් නැගෙනහිර දෙසින් පිහිටා ඇති ත්‍රස්තවාදීන්ට අයත් ප්‍රදේශයකදී සිරියානු හමුදාවට අයත් ගුවන් යානයක් වෙඩි තබා බිම දැමු බව සිරියානු ත්‍රස්ත කණ්ඩායම් දෙකක් සහ යුද නිරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කළේය.

“අපි ටෙල්ඩක්වා ප්‍රදේශයේදි සිරියානු හමුදාවට අයත් ගුවන් යානයක් වෙඩි තබලා බිම දැම්මා, අපිට තාම ගුවන් නියමුවා හමුවුනේ නෑ, අපි ඔහුව හොයනවා.’’ යනුවෙන් ජයිශ් ඕසෝඩ් අල්-ෂාකියා ත්‍රස්ත කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

බටහිරසහාය ලබන ජයිශ් ඕසෝඩ් අල්-ෂාකියා ත්‍රස්ත කණ්ඩායම අග්නිදිග සිරියාවේ පිහිටා ඇති කාන්තාර ප්‍රදේශයේ ක්‍රියාත්මකවන ප්‍රධාන ත්‍රස්ත කණ්ඩායම් වලින් එකක් වන අතර බාදියා නම්න්ද හඳුන්වනු ලැබේ.

කඩා වැටුණු ගුවන්යානය සම්බන්ධයෙන් සිරියානු ආරක්ෂක අංශ මේ වන විටත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව වාර්තා වේ.

ත්‍රස්තවාදී කණ්ඩායමක් සිරියානු හමුදාවට අයත් ගුවන්යානයක් ඔවුන්ගේ පාලන ප්‍රදේශයේදි බිම හෙළා ඇති අතර ගුවන් නියමුවා ජීවතුන් අතර සිටිනවාද නැද්ද නිශ්චිතවම ප්‍රකාශ කර නොහැකි බව  බ්‍රිතාන්‍ය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන යුධ නිරීක්ෂණ සිරියානු කණ්ඩායම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-අරේබියා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS