සිරවුණු නැව මුදා ගැනෙයි



සූවස් ඇළේ සිරවුණු ‘එවර්ගිවන්’ භාණ්ඩ ප්‍රවාහන නෞකාව, මුදා ගැනීමට හැකියාව ලැබුණි.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්, හාරා වැලි තට්ටු ඉවත් කරමින් සහ ටග් බෝට්ටු ආධාරයෙන් නැව තල්ලු කෙරුණු බවත්, නැව පාවී යෑමට උදම් රළ යොදා ගත් බවත් නැව මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නෙදර්ලන්ත, ඊජිප්තු සහ ජපන් විශේෂඥ කණ්ඩායම් පවසයි. නැව මුදා ගැනීමේ මොහෙයුමට ඇමෙරිකන් විශේෂඥයන්ගේ උපදෙස් ද හිමිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මුදා ගැනීමට සමත් වුණු ‘එවර්ගිවන්’ භාණ්ඩ ප්‍රවාහන නෞකාව, සූවස් ඇළ තරණය කරනු ඇති බවත්,  ‘එවර්ගිවන්’ නෞකාව නිසා සිරවුණු සෙසු නෞකා සියල්ල ඉදිරි දින කීපයේ දී ඇළ තරණය කර ගමනාන්තවලට ළඟා වනු ඇති බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කර තිබේ.

‘එවර්ගිවන්’ නැව හේතුවෙන් යාත්‍රා කිරීමට නොහැකි වී, සූවස් ඇළේ සිරවුණු සෙසු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 කට වඩා තිබුණි. ඊට අමතරව සතුන් ප්‍රවාහනය කරන නැව් ද තිබුණි. එම නැව් තව දින කීපයක් සිරවී තිබුණේ නම් එම සතුන් මියයෑමට ඉඩ තිබුණු බව ද පැවැසිණි.තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි කළ ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි. නෞකාවේ හිමිකරු ෂෝහෙයි කිසෙන් කයිෂාන් නමැති ජපන් ජාතික කෝටිපතියාය.

‘එවර්ගිවන්’ නෞකාවේ වේගය නොට් 22 (පැයට කිලෝ මීටර් 40) කි. 2018 වසරේ නිෂ්පාදිත, මීටර් 400 ක් දිග, මීටර් 59 ක් පළල, මෙටි්‍රක් ටොන් 2,00,000 බර, නෞකාව, පසුගිය 23 වැනිදා,  කිලෝ මීටර් 193 ක් දිගින් යුත් සූවස් ඇළට පිවිසියේ, නෙදර්ලන්තයේ බලා යාත්‍රා කිරීමටය. නැව නෙදර්ලන්තය බලා යාත්‍රා කරන්නේ චීනයේ සහ මැලේසියාවේ සිට භාණ්ඩ පටවා ගනිමිනි.

ඊජිප්තුවට අයත් සූවස් ඇළේ පළල මීටර් 200 ත් 300 ත් අතරය. සූවස් ඇළ දිගේ යාත්‍රා කරද්දී, ‘එවර්ගිවන්’ නෞකාව, වැලි කුණාටුවකට හසුවී, පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, ඉදිරිපස වැලි තට්ටුවල ගැටී නතර විය.

නැව හැරී සිරවී නතර වූයේ සූවස් ඇළ හරස් කරමිනි.  සූවස් ඇළේ නැව් ගමනාගමනය මුළුමනින්ම අඩපණ වූයේ ඒ අනුවය. නැව මෙසේ අකරතැබ්බකට මුහුණ දුන්නේ, එහි යාන්ත්‍රික දෝෂයක් හටගත් බැවින් යැයි ද පැවැසෙයි.

සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ නැව අනතුරට ලක්වූයේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අත්වැරදීමක් නිසා බවය.

කයිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS