සිරකරු හුවමාරුවකට කැමැත්ත



යේමන රජයේ සහ යේමන රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා හවුති කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පසුවන සිරකරුවන් දහසකට වැඩි පිරිසක් නිදහස් කිරීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ විය.

යේමනයේ යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, යේමන රජයේ නියෝජිතයන් සහ රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන්ගේ නියෝජිතයන් අතරේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙමිනි.

සිරකරු හුවමාරුවට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළේ එම අවස්ථාවේදීය. සිරකරු හුවමාරුව හරහා දෙපාර්ශ්වය අතර විශ්වාසයක් ඇති වේවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් ඒ අනුව, ඉදිරියේ දී සටන් විරාමයක් කෙරහි අවදානය යොමු කරන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත මාටින් ග්‍රිෆිත් පවසා තිබේ.

හවුති කැරැලිකරුවන් විසින් නිදහස් කරනු ලබන සිරකරුවන් ගණන 400 කි. ඒ අතර සෞදි ජාතිකයෝ 15 දෙනෙක් සහ සුඩාන ජාතිකයෝ සිවු දෙනෙක් වෙති. යේමන රජය නිදහස් කිරීමට පොරොන්දු වූ හවුති සිරකරුවන් ගණන 681 කි. යේමනයේ යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ස්ටොක්හෝම් නුවර සාම සාකච්ඡා පැවැත්වෙන්නේ 2018 වසරේ සිටය.

සානාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS