සිනායි අර්ධද්වීපයේ මෙහෙයුම්



උතුරු සිනායි අර්ධද්වීපයේ දියත් කළ හමුදා මෙහෙයුම්වලදී සටන්කාමීන් 12 දෙනකු ඝාතනය කර තවත් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව ඊජිප්තු හමුදාව සඳහන් කරයි.

ඊජිප්තු ආරක්ෂක අංශ මෙම දත්ත නිකුත් කරනු ලැබුවේ සඳුඳා (12) දිනයේදීය. ඊට පෙර දිනයක-දීත් ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුමකින් සටන්කාමීන් 16 දෙනකු මියගිය බව වාර්තා විය. ඒ අතරවාරයේදී ගුවන් හමුදාව ඉලක්ක 60කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර එම ඉලක්ක අතර වාහන, ආයුද ගබඩා, සන්නිවේදන මධ්‍යස්ථාන ද වන බව ඊජිප්තු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගැටුම්වලින් ආරක්ෂක අංශවල කොපමණ සංඛ්‍යාවක් මියගියේද කොපමණ සංඛ්‍යාවක් තුවාල ලැබුවේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් නොවීය.

සිනායි අර්ධද්වීපයේ සිටින සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊජිප්තුවේ ගුවන්, නාවික හා පාබල හමුදා ඒකාබද්ධ ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ.

ඊජිප්තු හමුදා වසර ගණනාවක් තිස්සේ සිනායි අර්ධද්වීපයේ සිටින ආණ්ඩු විරෝධී සටන්කාමීන් ඇතුළු සටන්කාමීන් සමඟ සටන් වදී. වසර 2013 දී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කළ ජනාධිපති මොහොමඞ් මොර්සි බලයෙන් පහ කිරීමත් සමඟ සිනායි අර්ධද්වීපයේ ගැටුම් වැඩි විය.

උතුරු සිනායි පළාතේ බිර් ආල් ආබේද් නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සහ තුවක්කු ප්‍රහාරයකින් 235කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ.

හර්ෂණ තුෂාර

අල්ජසීරා


RECOMMEND POSTS