සාම ගිවිසුම්වලට අත්සන් තැබේ



ගල්ෆ් කලාපීය රටවල් වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත් ඊශ්‍රායලය සමඟ මිතුරු කිරීම හරහා මැදපෙරදිග කලාපයේත් ලෝක දේශපාලනයේත් පෙරැළියක් සිදුවුණැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත් ඊශ්‍රායලය සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.

ට්‍රම්ප් නියෝජනය කරමින් විශේෂ නියෝජිත කණ්ඩායමක් රටවල් අතරේ මිත්‍රත්වය වර්ධනය කිරීමට මැදිහත් විය. එම නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම ප්‍රධාන උපදේශකවරයකු ද වන ජෙරාඞ් කුෂ්නර් ය.

කුෂ්නර් ප්‍රමුඛ කණ්ඩායම

එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත් ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන්, අදාල සාම ගිවිසුම්වලට අත්සන් තැබීම ධවල මන්දිරයේ දී සිදුවිය.
එම අවස්ථාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් බහරේන් රාජ්‍යයේත් විදෙස් අමාත්‍යවරු එක් වූහ.

බහරේන් විදේශ ඇමැති ට්‍රම්ප් හමුවෙමින් ...

එමිරේට්ස් විදේශ ඇමැති ට්‍රම්ප් හමුවෙමින් ...

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණියේ බිරිඳ සාරා ද සමඟය. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාගෙන් ඔවුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වෙනුවෙන් සහ බහරේනය වෙනුවෙන් එම රටවල විදේශ ඇමැතිවරුන් වන ෂෙයික් අබ්දුල් බින් සයාද් අල් නයාන් සහ අබ්දුල්ලතීෆ් බින් රෂීඞ් අල් සයානී ද ධවල මන්දිරයට පැමිණ සිටියහ.

ගල්ෆ් කලාපීය මුස්ලිම් රටවල් සහ යුදෙව් ඊශ්‍රායලය අතර ඇයිහොඳයිකම් පළුදු වී ඇත්තේ, පලස්තීන ඊශ්‍රායල අර්බුදය මුල්කොට ගනිමිනි. පලස්තීන මුස්ලිම්වරුන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් හේතුවෙන්, ගල්ෆ් අරාබි රටවල් ඊශ්‍රායලය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත්, බහරේනයත් ඊශ්‍රායලය සමඟ මිතුරු කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිර සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමේ පළමු පියවර ලෙසය.

වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ගල්ෆ් රටවල් හවුල් කර ගනිමින් ඉදිරිපත් කිරීමට ජනපති ට්‍රම්ප් උත්සහ ගනී.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS