සාක්ෂි ඉදිරිපත් කරලා නෑ



කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, සම්බාධක පැනැවීමට කටයුතු කළ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කර නැතැයි බෙල්ජියමේ කටාර් තානාපති අබ්දුල්රහ්මාන් බින් හමාද් අල් කුලාෆී කියයි.

අබ්දුල්රහ්මාන් බින් හමාද් අල් කුලාෆී බෙල්ජියමේ කටාර් තානාපතිවරයා පමණක් නොව, යුරෝපයේ සිටින කටාර් නියෝජිතයා ද වෙයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේත්, යුරෝපා සංගමයේත් කටාර් නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ද අල් කුලාෆීය.

‘කටාර් රාජ්‍යයට එල්ල වී ඇති චෝදනා තමයි ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා. අන්තවාදයට උඩගෙඩි දෙනවා. ඒත් ඒ චෝදනා සම්බන්ධධයෙන් පැහැදිලි සාක්ෂි කිසිවක් මේ වනවිට සෞදිය ප්‍රමුඛ රටවල් ඉදිරිපත් කරලා නැහැ’ යැයි අබ්දුල්රහ්මාන් බින් හමාද් අල් කුලාෆී පෙන්වා දී ඇත.

සෞදියට සහාය පළ කරමින්, කටාරයට චෝදනා එල්ල කරමින් සම්බාධක පනවා, කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා නැවැත්වූ සෙසු ගල්ෆ් කලාපිය රටවල් වන්නේ බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුවයි.

කටාර් රාජ්‍යය කිසිම අවස්ථාවක ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීමක් කර නැති බවත්, ඉදිරියේදී ද එසේ නොකරන බවත් තානාපති අබ්දුල්රහ්මාන් බින් හමාද් අල් කුලාෆී අවධාරණය කර ඇත.

කටාර් රාජ්‍යය සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදයටඑරෙහිව සටන් කරන බවත් ජාත්‍යන්තර ප්‍රජාව සමඟත් ආරක්ෂක අංශ සමඟත් සහයෝගයෙන් කටයුතු කරන බවත් අල් කුලාෆී වැඩි දුරටත් කියා සිටී.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS