සහරාවට හිම වැටිලා



සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකට හිම වැටී ඇති බවත්, අතිශය දුර්ලභ මෙම සිදුවීමට හේතුව වර්තමානයේ ලෝකය මුහුණ දෙන විපරිත කාලගුණ පෙරැළි යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

හිම පතනය වාර්තා වී ඇත්තේ උතුරුදිග ඇල්ජීරියාවෙනි. හිම පතනය සිදුවූ සහරා කාන්තාර ප්‍රදේශය අයත් වන්නේ අයින් සෙෆ්රා යන නගරයට නුදුරිනි.

නගර වැසියන්ට මෙම හිම පතනය නැවුම් අත්දැකීමක් වුණැයි මාධ්‍ය වාර්තා කියයි.

අයින් සෙෆ්රා උෂ්ණත්නව සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35 ක් පමණ වන බවත් මේ වනවිට එය සෙල්සියස් අංශක 1 තෙක් පහළ වැටී ඇති බවත් ඇල්ජීරියානු කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අයින් සෙෆ්රා නගරයට අයත් සහරා කාන්තාරයෙන් මීට පෙර 2016 වසරේ ද හිම පතනයක් වාර්තා වූ බව ද පැවැසෙයි.

ගෝලීය උණුසුම ඉහළ යෑම, අයිස් තට්ටු දියවී සාගර මට්ටම ඉහළ යෑම, ‘එල් නීනෝ’ සහ ‘ලා නීනා’ වැනි කාලගුණ පෙරැළි සියල්ලටම හේතුවක් වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බවත්, ඒවා නිසා පෘථිවියේ විපරිත කාලගුණ පෙරැළි නිර්මාණය වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

අප්‍රිකා මහද්වීපයට අයත සහරා කාන්තාරය ලොව විශාලතම උණුසුමින් වැඩිම කාන්තාරය වන අතර ඇල්ජීරියාව, චැඞ්, ඊජිප්තුව, ලිබියාව, මාලි, මුරුෂානියා, මොරොක්කෝ, නයිගර්, සුඩානය සහ ටියුනීසියාව යන උතුරු අප්‍රිකානු රටවල් පුරා පැතිර පවතී.  සහරා කාන්තාරය වර්ග කිලෝ මීටර් 9,200,000 ක් පුරා පැතිර පවතින අතර එය ඇමෙරිකාව තරම් විශාල යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS