සමුළුවෙන් ඉවත් වෙන්න තීරණයක්



මාධ්‍යවේදී ජමාල්  කශෝගීගේ අතුරුදන් වීම හේතුවක් කරගනිමින් සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ආයෝජන සමුළුවෙන් ඉවත් වීමට මාධ්‍ය සමාගම්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් තීරණය කර ඇත.

‘ඉකොනොමිස්ට්’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක සානි මින්ටොන් බෙඩොස්, සී.එන්.බී.සී පුවත්පතේ වාර්තාකරුවකු  සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ව්‍යාපර මාධ්‍යවේදියකු වන ඇන්ඩෘ රෝස් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් මෙම සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇත. සී.එන්.එන්, බ්ලූම්බර්ග්, ෆයිනෑන්ෂියල් ටයිම්ස් යනාදි මාධ්‍ය ආයතන කිහිපයක් ඊට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

‘ඉකොනොමිස්ට්’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක සානි මින්ටොන් බෙඩොස් සෞදි අරාබියේ ආයෝජන සමුළුවේ සංවිධාකයන්ට ඊමේල් (විද්‍යුත් තැපෑල) ඔස්සේ තමන් සමුළුවට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

තුර්කියෙන් ලැබෙන වාර්තා ඉතාමත් කනගාටුදායක බවත් තමන් සෞදි සමුළුවට සහභාගී නොවන බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සී.එන්.බී.සී රූපවාහිනියේ වාර්තාකරුවකු සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ව්‍යාපාර මාධ්‍යවේදී ඇන්ඩෘ රෝස් සඳහන් කළේය.

සෞදි අරාබියේ ප්‍රතිපත්තියේ දැඩි ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදියකු ලෙස ප්‍රකට ජමාල් කශෝගිගේ අතුරුදන් වීමත් සමඟ එරටට මේ වනවිට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබේ. ජමාල් කශෝගි ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වී ඇත. එහෙත් ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු සඳහනක් නැත. ඔහු කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට ද තිබෙන අතර ඒ කිසිවක ඔහු පිටතට පැමිණෙන අයුරු දක්නට නැත. ඔහු කොන්සියුලර් කාර්යාලය තුළදී ඝාතනයට ලක්ව ඇතැයි ද ඇතැම් පිරිස් පවසති.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත අයත් සමාගම මෙම ආයෝජන සමුළුවේ මාධ්‍ය අනුග්‍රහකයන් වූ අතර ඔවුන් එයින් ඉවත් බව දැනුම් දුන් බව එම සමාගමේ ප්‍රකාශිකා අයිලීන් මර්ෆි සඳහන් කළාය. ‘ද ෆයිනෑන්ෂියල් ටයිම්ස්’ පුවත්පත මෙම සමුළුවේ මාධ්‍ය පාර්ශවකරුවකු වූ අතර ඔවුන් එයින් ඉවත් වන බව දැනුම් දී තිබේ.

‘ඌබර් ටෙක්නොලොජීස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරා කොස්රොව්ෂාහී තමන් සෞදි ආයෝජන සමුළුවට සහභාගී නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මීට අමතරව මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, මාධ්‍ය ආයතන, ව්‍යාපාර හා සමාගම් රැසක් මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම හේතුවක් කරගනිමින් සෞදි ආයෝජන සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS