සමාජ ජාල හරහා මත්ද්‍රව්‍ය කල්ලි ගැන විමසිල්ලෙන්



මත්ද්‍රව්‍ය හුවමාරු කරගැනීමේ හා ඒ සඳහා මුදල් ගෙන්වා ගැනීමේ පණිවුඩ විමර්ශනය කිරීමට සමාජ ජාල යොදා ගැනීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කරනවා යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

එමීරයේ සමහර ප්‍රදේශවල පදිංචිකරුවන්ට වට්ස්ඇප් හරහා ලැබී තිබු දුරකතන ඇමතුම් පිළිබඳව විමර්ශනය කිරීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම කල්ලි පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි ද එක්සත් අරාබි එමීර් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

එකී පණිවුඩ ලැබී තිබෙන්නේ පාකිස්තානයේ සිට බව ද තහවුරු කරගත් බව එක්සත් අරාබි එමීර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන  බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව තවදුරටත් සොයා බලන බවත් මේ වන විට පණිවිඩ අධීක්ෂණය කරමින් සිටින බවත් එමීරයේ අභ්‍යන්තර කටයතු අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යක්ෂ ජනරාල් සයිඞ් අල් ස්වාදි මාධ්‍යවලට පවසා තිබේ.
මේ වන විට පකිස්තානය තුළ ද ආරක්ෂක අංශ සමඟ මෙහෙයුම් දියත් කළ බව ද හෙතෙම සඳහන් කර ඇත.

පවතින තත්ත්වය යටතේ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් එරට නීතිය ඉදිරි කාලයේ දැඩිව ක්‍රියාත්මක කිරීමට එමීර් හි රජය තීරණයකර ඇතැයි ද යම් සැක කටයුතු පුද්ගලයෙකු හෝ නීති විරෝධී ක්‍රීයාවන් සිදුවේ යැයි හැඟෙන අවස්ථා ඇතොත් ඒ සම්බන්ධව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙත පැමිණිලි කරන ලෙස එම අමාත්‍යංශය එරට වැසියන් ගෙන් ඉල්ලීමක් කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS