සම්බාධක පැනෙව්වාට පැමිණිල්ලක්



සෞදිය ඇතුළු අරාබි රටවල් විසින් පනවන ලද වෙළඳ සම්බාධකවලට එරෙහිව කටාර් රාජ්‍යය ලෝක වෙළඳ සංවිධානයට (World Trade Organization) නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

කටාර්හි ආර්ථික සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂේක් අහ්මඩ් බින් ජසෙම් බින් මොහම්මද් අල් තානි කියා සිටියේ සෞදිය ඇතුළු අසල්වැසි රාජ්‍යයන් විසින් සිය රට වෙත වෙළඳ සම්බාධක පනවනු ලැබීම පැහැදිලි ලෙසම අන්තර්ජාතික වෙළඳ නීතිය උල්ලංඝනය කිරීමක් බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා සෞදි අරාබිය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට දින 60 කාලයක් ලැබේ.

එම දින 60 තුළ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලෝක වෙළඳ ආයතනය විසින් ඒ සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරනු ඇත.

අදාළ නිල පැමිණිල්ල සම්බන්ධයෙන් සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් මෙතෙක් ප්‍රතිචාර පල කර නොමැති නමුත් එම රටවල් මීට ඉහත දී ලෝක වෙළඳ ආයතනය වෙත දන්වා තිබුණේ සිය රටවල ජාතික ආරක්ෂාව හා සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් කටාර් වෙත සම්බාධක පැනවීමට ගත් තීන්දුව සාධාරණීකරණය කෙරෙනු ඇති බවය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS