සටනට පෙර නැටුමක්



දින 15 ක ගිනි අවි පුහුණුවක් ලැබූ සිරියාවේ කුර්දි තරුණියෝ 210 දෙනෙක් සටන් බිමට යෑමට පෙර නර්තනයකට එක් වූහ.

කුර්දි තරුණියන් ගිනි අවි පුහුණුව පමණක් නොව, සටන් බිමේදී සතුරන්ට සැලැසුම්සහගතව පහර දීම සහ ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් ද පුහුණුවක් ලැබුණු බව වාර්තා වේ.

කුර්දි තරුණියන් සටන් වදින්නේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සමගය. දයේෂ් යනුවෙන් හැදින්වෙන්නේ ද මෙම ත්‍රස්තවාදීන්ය. පුහුණුව ලැබූ කාන්තා සෙබළියන් සිරියාවේ රක්කා නුවර සටන් බිමට යෑමට නියමිත බව ද වාර්තා වේ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට අපි යටත් වෙන්නේ නැහැ. යටත් වුණොත් අපි ලිංගික වහලුන් වෙනවා. අපි අවි අතට ගෙන සටන් වදිනවා. ලිංගික වහලුන් වී සිටිනවාට වඩා සටන් බිමේදී මැරෙන්න අප සූදානම් යැයි කුර්දි තරුණියෝ කියති.

සිරියාවේ කුර්චදි වැසියන්ගේ සහාය හිමිවන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍ර බළඇණිය නමින් හැදින්වෙන සන්නද්ධ සන්ධානයටය. සිරියානු විපක්ෂ කණ්ඩායම් එක් වී සිටින්නේ මෙම සන්ධානය සමග යැයි ද වාර්තා වේ. සිරියානු රජයට එරෙහිව සටන්වදින්නේ ද මෙම විපක්ෂ කණ්ඩායම්ය. අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මොවුන් දෙගොල්ලන්ටම පොදු සතුරා වෙයි.

ඇමෙරිකාවේ නොඅඩු සහාය හිමිවන්නේ ද මෙම සිරියානු ප්‍රජාතන්ත්‍ර බළඇණියටය. ඇමෙරිකාව උත්සහ ගන්නේ මෙම කුර්දිවරුන් සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම්වලට සිරියානු රජය පෙරලා දමා බලය ලබා දීමට යැයි චෝදනා එල්ල වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS