සජීවි ප්‍රසංගයක් අතරතුර පිහි ඇනුමක්



සෞදි අරාබියේ රියාද් අගනුවර පැවති සජීවි ප්‍රසංගයක් අතරතුර පිහි ඇනුමකින්  පුද්ගලයන් තිදෙනෙකුට තුවාල සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

රියාද් අගනුවර පිහිටි අබ්දුල්ලා රජුගේ උද්‍යානයේ පැවති සජීවි ප්‍රසංගයක් අතරතුර එහි වේදිකාවට කඩාවැදුණු පුද්ගලයෙක් පිහි ඇනුමක් සිදුකර තිබේ.

එම අවස්ථාවේදී විදෙස් කණ්ඩායමක් සිය ඉදිරිපත්කිරීම සිදු කරමින් සිට ඇති බව සඳහන් වෙයි.එම පහරදීම, කැමරාවල සටහන්ව තිබුණේය.

සිදුවීමෙන් නර්තන ශිල්පිනියන් දෙදෙනෙක් සහ ශිල්පියෙක් තුවාල ලබා ඇති අතර යේමන් ජාතික 33හැවිරිදි අයෙකු බවට හඳුනාගත් පිහි ඇනුම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.කෙසේ නමුත් ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.

දශක ගණනාවක් දැඩි නීති රීති යටතේ පාලනයවූ සෞදි අරාබියේ ප්‍රාසාංගික ඉසව් සඳහා ඉඩ කඩ විවර වුණේ මොහොමඩ් බින් සල්මාන් කුමරු බලයට පත්වීමත් සමඟයි.

එරට පැවති ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව මෙය බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි

RECOMMEND POSTS