ෂුරා නව පනත් කෙටුම්පතක්



කටාර් රාජ්‍යයේ අවට පරිසරයේ පිරිසිදු භාවය, පිළිවෙල හා මහජන සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් කටාර්හි උපදේශක සභාව (ෂුරා)  මගින් නව පනත් කෙටුම්පතක් අනුමත කර ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි.

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල අපද්‍රව්‍ය හා වෙනත් අපවිත්‍ර දේ දමා හසුවන සෑම පුද්ගලයෙකුටම එරෙහි කටාර් රියාල් 20000 දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

මෙම නව නීතියට අනුව එරට නිවෙස් හා සේවා ස්ථානවල හිමිකරුවන් විසින් අපද්‍රව්‍ය දැමීමට නියමිත ස්ථානවලින් පරිබාහිරව වෙනත් ස්ථානවල අපද්‍රව්‍ය දැමා අසුවුවහොත් ඔවුනට කටාර් රියාල් 20000 දඩ මුදලක් ගෙවීමට සිදුවෙනු ඇත.

තවද නිවෙස්වල ඇතිකරන කුරුල්ලන්, බල්ලන් වැනි සුරතල් සතුන් අවසර නොලද ස්ථානවල මුදා හැරීමෙන්ද ඒ හා සමානම දඩ මුදලකට යටත් වීමට සිදුවන අතර එවැනි වරදකට පෙරත් හසුවී වරදකරුවෙකු වී ඇත්නම් මාස හයක සිර දඩුවමක් සමග කටාර් රියාල් 50000 දක්වා වු දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

එමෙන්ම පොදු ස්ථානවල පිරිසිදුතාවය බිද දැමීම නිසා පෙර පැවති කටාර් රියාල් 10000 හා හයමසක සිරදඩුවම නව නීතිය තුළ කටාර් රියාල් 10000ක් පමණක් ලෙස වෙනසකට ලක්කර ඇත.

මෙම නීතිය මගින් වීදි, චතුරස්‍ර, පදික වේදිකාවන්, අඩි පාරවල්, පොදු උද්‍යාන, මල්වතු, අංගන, මුහුදු වෙරළ මෙන්ම අමතර හිස් ඉඩම්, ගෙමුදුන්, බිත්ති, කොරිඩෝ හා ගෙයින් පිටත ආදි අපද්‍රව්‍ය බැහර කිරීමට අවසර නොමැති ස්ථානවල ඉවතලන කිසිදු අපද්‍රව්‍යක් බැහර කිරීම සපුරා තහනම් කර තිබේ.

එමෙන්ම අවශ්‍ය පොදු ස්ථානවල පිරිසිදු බව ආරක්ෂා කිරීමේ අරමුණින් වැසිකිලි පහසුකම් සැපයීම, රථගාල් ආදියට අප ද්‍රව්‍ය බැහැර කරන බඳුන් සැපයීම ආදී පහසුකම්ද සපයාදීම සදහා බලධාරීන් දැනුවත් කිරීම කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS