ශ්‍රී ලංකා දිනය ඩුබායි හි මුළු දෙයි !



ශ‍්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව සහ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයීය 25 වැනි සංවත්සර වෙනුවෙන් සංවිධානය කරන සමරු වැඩසටහන ‘ශ්‍රී ලාංකික දිනය 2018’ ඩුබායිහි සබීල් උද්‍යානයේදී  ඉකුත් 9 වැනිදා දවස පුරා පැවැත්විණි.

ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල සහ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලංකා ප‍්‍රජාව එක්ව සංවිධානය කරන මෙම දැවැන්ත වැඩසටහනට ඩුබායි හි වෙසෙන ලාංකිකයින් බොහෝ පිරිසක් මහත් උද්යෝගයෙන් යුතුව සහභාගීවීම විශේෂත්වයකි.

මෙම ශ්‍රී ලංකා දිනය සැමරුම් උත්සවයේදී ශ්‍රී ලාංකීය සංස්කෘතික සංදර්ශන, ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමිර් රාජ්‍ය මිත‍්‍රත්ව පාගමන, කුසලතා දැක්ම, ශ්‍රී ලංකා ඉඩම් හා දේපළ ආයෝජන පිළිබද මූල්‍ය ආයතන මෙහෙයවන වෙළෙද කුටි, ශ්‍රී ලංකා ආහාර සහ පාන සහිත වෙළෙද කුටි , ශ්‍රී ලාංකීය ආහාර පාන සම්බන්ධ ඡායාරූප තරගයක් සහ ශ්‍රී ලාංකීය කලාකරුවන් සහභාගි වන සංගීත ප‍්‍රසංගයක් ඉතා සාර්ථක අන්දමින්  පැවැත්විණි.

ලාංකික ප්‍රජාව වෙනුවෙන් සිදු කරන සමාජ සුබසාධන සේවාවක් ලෙස වෛද්‍ය සායනය සහ ඇස් කණ්නාඩි ප‍්‍රදානය කිරීම, ලේ සහ ඇස් දන්දීමේ කදවුරු, නීති උපදේශන සේවා සැපයීමද එදින දවස පුරා සිදුකෙරිණි.

ඩුබායි සහ උතුරු එමිරේටය බාර කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා පැවසුවේ මෙම ශ්‍රී ලාංකික දිනය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ට සුවිශේෂි අත්දැකීමක්වූ  බවයි.

‘‘එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන 250,000 ක් පමණ වන ශ්‍රී ලාංකික ප‍්‍රජාවෙන් බහුතරයක් ප‍්‍රමාණ සමීක්‍ෂණය, ගණකාධිකාරී, ඉංජිනේරු, කළමණාකරන සහ බැංකු යන වෘත්තීන්වල නිරතව සිටිනවා. තවද 25% ක් පමණ කම්කරු රැකියාවල ද නිතරව සිටිනවා. සත්කාරකයන් ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අති විශිෂ්ට ආගන්තුක සත්කාරය පිළිබදව මෙහිදී සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මම ප‍්‍රණාමය පුද කරනවා’’ යැයි කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


RECOMMEND POSTS