ශ්‍රමිකයන්ට නීත්‍යානුකූල ලියකියවිලි



අනවසරයෙන් ලෙබනනයේ විවිධ රැකියාවන් හි නියුතුව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීමට ලෙබනන රජය අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එලෙස රැකියා වීසා බලපත්‍රය ඇතුළු නීත්‍යානූකූල ලියකිවිලි නොමැතිව සිටි මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිසට එරට රජයේ ලියාපදිංචිව සහිතව රැකියාවේ නිරතවීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ලෙබනන අගමැත් සාද් හරීරි මහතා හමුවේ ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පළ කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ දිනවල ලෙබනනයේ නිල සංචාරයක නිරතවන අතර පසුගිය 21 දා බීරූට් අගනුවර පිහිටි එරට අගමැති නිල නිවසේ පැවති ද්විපාර්ශික හමුවකදී මෙම ස්තූතිය පළ කරනු ලැබීය.

ලෙබනනය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් පැවති මෙම හමුවේදී කම්කරු සබඳතා පුළුල් කර ගැනීම හා වෙළඳ ,ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද  ලෙබනන් අගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර කරුණු සාකච්ඡා කෙරී ඇත.

මෙම හමුවේදී නීතිවිරෝධී අන්දමින් ලෙබනනයේ රැඳී සිටි ලාංකක ශ්‍රමිකයින් පන්දහසකට අවශ්‍ය නීත්‍යානුකූල පසුබිම සකසා දීම ට ලෙබනන් රජය ඉටුකළ කාර්යභාර්ය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ගෞරව පූර්වක ස්තූතිය හා ප්‍රශංසාව පළ කරන බවද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කියා සිටියේය.

එසේම ඉදිරියේදී ලාංකික ශ්‍රමික පිරිස් ලෙබනනයේ රැකියා යොමු කිරීමේ වඩාත් පුහුණු ශ්‍රමික පිරිස් සැපයීමට රජය කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ලෙබනන් අගමැතිවරයා වෙත මෙහිදී දන්වනු ලැබීය.

අනවසරයෙන් එරට රැකියාවන් හි නියුතුව සිට නීත්‍යානූකූල කරනු ලැබූ ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුබසාධනය සහතික කිරීමට ලෙබනන් රජය ඕනෑම අවස්ථාවක සූදානම් යැයිද ලෙබනන අගමැතිවරයා එම හමුවේදී පෙන්වා දී ඇත.

ලෙබනන් අගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති හමුව සඳහා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති විජේරත්න මෙන්ඩිස් , විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදපෙරදිග සහ අප්‍රිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද අයි.කොළොන්නේ යන මහත්වරුන්ද සහභාගී වූහ.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS