වීසා නැතිව යන්න ඉඩ දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය යන රටවල පුරවැසියන්ට වීසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිත පිරිසක් ඊශ්‍රායලයේ සිදුකළ නිල සංචාරය අතරතුරදී දෙරටටම ගමන් කිරීමට හැකි වන පරිදි නිල වශයෙන් එකඟ වී තිබේ.

මැද පෙරදිග ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අරමුදලක්ද පිහිටුවා ගෙන ඇත.

ප්‍රථම වරට එමිරේට්ස් දූත පිරිසක් ඊශ්‍රායලයට පැමිණීමෙන් පසුව ඊශ්‍රායල් අගමැති, බෙන්ජමින් නෙතන්යාහු මෙම කරුණු නිවේදනයක් මඟින් නිකුත් කිරිමට කටයුතු කළේ ය.

"අද අපි ඉතිහාසය නිර්මාණය කරනවා පරම්පරා ගණනාවක් පවතින ආකාරයට." යනුවෙන්  ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන්තොටුපලේදි එමිරේට්ස් නියෝජිත පිරිස අමතමින් නෙතන්යාහු පැවසීය.

මෙම සංචාරයේදි, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර ගිවිසුම් හතරක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

ආයෝජන ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම පිළිබඳ ගිවිසුම, අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ස්ථාපිත කිරීම පිළිබඳ ගිවිසුම සහ විද්‍යාව හා උසස් තාක්‍ෂණය වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම එම ගිවිසුම් හතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS