විසඳුම් දෙන්න ට්‍රම්ප්ට බෑ



වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුම් දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නොහැකි බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය කියයි.

‘ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන අවබෝධයක් නැහැ. ඊට විසඳුම් දෙන්න ඔහු දන්නේ නැහැ. ඔහුට ඒ ගැන තැකීමක් ඇත්තේ නැහැ. ඔහු ඊශ්‍රායලයේ ඕනෑඑපාකම් සපුරාලන්න වෙහෙසෙනවා’ යැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙනුවෙනක් එහි මහ ලේකම් සයාද් හසාන් නසරල්ලා පවසා ඇත.

ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය ඇමෙරිකාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇත. පසුගිය දා ලෙබනනයේ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ද හිස්බුල්ලා සංවිධානයට හිතවත් දේශපාලන කණ්ඩායම්ය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ මැදහත්කරු ලෙස පසුගිය වසර ගණනාව තිස්සේ ක්‍රියා කළේ ඇමෙරිකාවය. කෙසේ නමුත් ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මැද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම යැයි නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීම ඊශ්‍රායල සහ පලස්තීන මැදපෙරදිග සාම කතා දෙදරා යෑමක් විය.

පලස්තීනුවන් ඔවුන්ගේ අනාගත රාජ්‍යයේ අගනුවර ජෙරුසලම වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටී. ඊශ්‍රායලයේ අගනුවර පලස්තීනය ලෙස නම් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගැනීම අර්බුදයක් නිර්මාණය කළේ ඒ නිසාය. මෙම අර්බුදය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරිය සහ ට්‍රම්ප් අතර හිතවත්කම් පළුඳු වී තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට තමන් සාර්ථක විසඳුමක් සොයා දෙන බවට ට්‍රම්ප් පොරොන්දුවක් ලබා දී ඇත. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මැදපෙරදිග අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කරක කිසිදු වැඩපිළිවෙළකට තමන් එකඟ නොවන බව පලස්තීන පාලන අධිකාරිය වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS