විස වායු ප්‍රහාරයක්: 70 ක් මරුට



සිරියාවේ නැගෙනහිර ගූඨා පළාතේ, ඩෝමා නගරයට විස වායු ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 70 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. ප්‍රහාරයෙන් දහසකට වැඩි සිවිල් වැසියන් පිරිසක් තුවාල ලබා ඇති බව ද පැවැසෙයි.

මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද වාර්තා වේ. විස වායු ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගිය බව පවසා ඇත්තේ, එම වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දීමට ගිය ‘වයිට් හෙල්මට්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වෛද්‍ය ආධාරකරුවන්ය.
කෙසේ නමුත් සිරියානු රජය තරයේ පවසා ඇත්තේ, තමන් කිසිම අවස්ථාවක සිවිල් වැසියන් හෝ සටන්කාමීන් හෝ ඉලක්ක කර ගනිමින් විස වායු ප්‍රහාර එල්ල කර නැති බවය.

ගුඨා යනු සිරියාවේ තවමත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින පළාතකි. මේ වනවිට ගූඨා පළාතේ ගම්මාන සහ නගර රැසක් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයට හැකි වී ඇත. මේ වනවිට ගූඨා පළාතේ සටන් විරාමයක් ද පවතී. ‘වයිට් හෙල්මට්’ වැනි සංවිධාන ගූඨා පළාතට ගොස් සිවිල් වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දෙන්නේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS