විරෝධතාකරුවෝ 56 ක් අත්අඩංගුවට



පැරැණි ජෙරුසිලම නගරයේ, අල් අක්සා මුස්ලිම් පල්ලිය මුල්කොට ගනිමින් පැවැති විරෝධතාවකට එක් වුණු පලස්තීනුවන් 33 දෙනකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ කියයි.

ඊට අමතරව, ඊශ්‍රායල ආරක්ෂක අංශ නැගෙනහිර ජෙරුසිලමේ අල් කුඞ්ස් පළාතේ ඊයේ (1) අලුයම කළ හදිසි වැටලීමකින්, තවත් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

වසර ගණනාවකට පසු, ඊශ්‍රායල පලස්තීන ගැටුම් නිර්මාණය වූයේ අල් අක්සා මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වැඩි කිරීමට ඊශ්‍රායල රජය ගත් තීරණය මුල්කොට ගනිමිනි. අල් අස්කා මුස්ලිම් පල්ලිය යනු ඉස්ලාම් දහමේ තෙවැනියට වැදගත්ම පූජනීය ස්ථානයයි.

පසුගිය ජූලි 14 වැනිදා, ඊශ්‍රායල රජය, මෙම මුස්ලිම් පල්ලිය ආශ්‍රිත කලාපය වසා දමමින්, ආරක්ෂාව වෙනුවෙන් ‘මෙටල් ඩිඩෙක්ටර්ස්’ (ලෝහ හඳුනා ගැනීමේ) සෙවුම් උපකරණ සවි කිරීමට කටයුතු කළේය. පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ ගැටුම් නිර්මාණය වූයේ ඒ අනුවය. ඊශ්‍රායල රජය පසුගිය 25 වැනිදා කියා සිටියේ, අල් අස්කා මුස්ලිම් පල්ලියේ දොරටුවලට සවි කිරීමට සූදානම් වුණු ‘මෙටල් ඩිඩෙක්ටර්ස්’ යන්ත්‍ර ඉවත් කිරීමට තීරණය කළ බවය. කෙසේ නමුත් ඊශ්‍රායල පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා තවමත් සිදුවෙයි.

ජෙරුසිලම පැරැණි නගරයේ අල් අක්සා මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් හටගත් ඊශ්‍රායල පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් යළිත් සිය කනස්සල්ල පළ කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS