විරෝධතාකරුවන් හමුවන්න ඉරාක අගමැති සූදානම්



විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුවී, සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව ඉරාක අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දී කියයි.

ඉරාක පුරා ප්‍රචණ්ඩ අයුරින් විරෝධතා ආරම්භ වූයේ පසුගිය සඳුදා සිටය. විරෝධතා උත්සන්න වීමත් සමඟ බැග්ඩෑඞ් අගනුවරටත් සෙසු ප්‍රධාන නගරවලට ඇඳිරි නීතිය පැනවීමට අගමැතිවරයා පියවර ගත්තේය. විරෝධතා උත්සන්න වූයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හේතුවෙනි.

එම ගැටුම්වලින් මියගිය ඉරාක වැසියන් ගණන 10 කි. දෙසීයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ. තුවාල ලැබූවෝ අතර හමුදාවේත් පොලිසියේත් 43 දෙනෙක් වෙති. කලහකාරී ලෙස හැසිරුණු පිරිස් මර්දනයට පොලිසියට සහ හමුදාවට උපරිම බලය භාවිත කළේ යැයි පැවැසෙයි.

යුද ගැටුම් හේතුවෙන් වැනසුණු ඉරාකයේ විරැකියාව සහ ධරිද්‍රතාව ඉහළ ගොස් ඇති අතර, යටිතල පහසුකම් නොමැතිව ඉරාක වැසියෝ පීඩාවට පත් වී සිටිති. ඒ අතරේ රජයේ වංචා දූෂණ ද ඉහවහා ගොස් ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා නගති. ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රදේශවල දුරකතන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

විරෝධතා පැවැත්වෙන්නේ අබ්දෙල් අබ්දුල් මහ්දී අගමැති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය. රට ඉදිරියට ගෙන යමින්, ශක්තිමත් නායකත්වයක් දීමට අගමැති මහ්දිට හැකියාවක් ලැබී නැතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බැග්ඩෑඩයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS