විපක්ෂ කණ්ඩායම් නිරායුධ කළ යුතුයි



අවි අතට ගත් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරායුධ කළ යුතු යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් වෙනුවෙන් ඔහුගේ දේශපාලන සහ මාධ්‍ය උපදේශිකා බෞතානියා සබානා කියයි.

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරායුධ කර, ජාතික මට්ටමින් ඔවුන් සමඟ සාකච්ඡා කර, පවතින අර්බුද විසඳා ගත යුතු බයත් බෞතානියා සබානා වැඩි දුරටත් පවසා ඇත.

සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අසාද් පරිපාලනය සැදී පැහැදී සිටින බවත් සිරියානු ජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑම ආකාරයේ විසඳුමකට යෑමට අසාද් සූදානම් බවත් බෞතානියා සබානා පෙන්වා දෙයි.

සිරියානු අර්බුදයට මේ වනවිට වසර 7 ක් ගත වී අවසන්ය. සිරියාවේ බහුතරය සුන්නි මුස්ලිම් වුවත්, එරට දීර්ඝ කාලයක් තිස්සේ බලයේ රැඳී සිටින අසාද් සහ ඔහුගේ රජය ෂියා මුස්ලිම්ය.

මැදපෙරදිග රටවල ජනතා විරෝධතා සහ බල පෙරැළි සිදුවෙද්දී, එම විරෝධතා සිරියාවට ද පැමිණියේය. ඒ, ඇමෙරිකාව, ප්‍රංශය ආදී බටහිර රටවල් කළ උසි ගැන්වීමෙනි.

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් අවි අතට ගනිමින් සටන් බිමට පිවිසියේ, ඔවුන් මර්දනයට සිරියානු රජයේ හමුදා පහරදීමත් සමඟය. සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අවි ආයුද දී ශක්තිමත් කළේ ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනය සහ ප්‍රංශ රජයයි.

අයි.එස්. සහ අල් කයිඩා (අල් නුස්රා) ත්‍රස්ත සංවිධාන ඉරාකයේ සිට දේශසීමා ඔස්සේ සිරියාවට පැමිණියේ ඒ අනුවය. බටහර රටවලින් දිගට හරහට ලැබුණු අවි ආයුදවලින් අයි.එස්. ත්‍රස්තයෝ ශක්තිමත් වූහ. ඔවුන් මුළු ලොවටම තර්ජනයක් වූයේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS