විද්‍යාඥයා මැරුවේ කෘත්‍රිම බුද්ධි අවියකින්



ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆකිර්සාදේ ඝාතනය සිදුවූයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක කළ කෘත්‍රිම බුද්ධි අවියකින් යැයි ප්‍රංශ පුවත් සේවා අනාවරණය කර තිබේ.

ප්‍රංශ පුවත් සේවා මේ බව අනාවරණය කළේ ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානී අද්මිරාල් අලී ෆඩානී උපුටා දක්වමිනි. ඉරානයේ 'බෝම්බ පියා' ලෙස මොෂේන් ෆකිර්සාදේ හැඳින්වෙයි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පුරෝගාමියකු වන්නේ ද මොහුය.

ඇමෙරිකන් සම්බාධක හමුවේ, ඉරාන වැසියන් ‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් අසරණ වෙද්දී, මිල අඩු මෙන්ම ඉතා ඉක්මණින් ‘කොවිඩ් 19’ ආසාදිතයන් හඳුනා ගැනීමට පර්යේෂණ කට්ටලයක් හඳුන්වා දීමට ද කටයුතු කර ඇත්තේ ෆකිර්සාදේ යැයි පැවැසෙයි.

ඉරාන රජය, ඉරාන ජනතාව පමණක් නොව, යුරෝපා මෙන්ම මැදපෙරදිග රටවල් ද ෆකිර්සාදේ ඝාතනය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ එම ඝාතනය දරුණු අපරාධයක් බව පෙන්වා දෙමිනි.

විද්‍යාඥ ෆකිර්සාදේ ඝාතනය සිදුවූයේ පසුගිය 27 වැනිදාය. ඒ, ඔහු තෙහෙරාන් අගනුවරින් පිටවී ඔහුගේ මෝටර් රථයෙන්, අබ්සාද් නගරයේ පිහිටි සිය බංගලාව බලා යද්දීය. මෝටර් රථයේ ෆකිර්සාදේගේ බිරිඳ ද ෆකිර්සාදේ අසල පිටුපස අසුනේ සිට ඇත.

අබ්සාද් නගරයට පිවිසෙන වටරවුම අසල ඝාතකයන් රැදී සිට ඇති අතර, මාර්ගය අසල නවතා තිබූ පිකප් රථයක කෘත්‍රිම බුද්ධි අවිය සහ අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ සුවිශේෂී කැමරාවක් අවටා තිබුණු බව පැවැසෙයි. මෙම අවිය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ මෝටර් රථයේ කළු වීදුරු අතරින්, ෆකිර්සාදේගේ මුහුණ ඉතා නිවැරදිව හඳුනා ගනිමිනි.

මෝටර් රථය අසලින් ගමන් කරද්දී, ගිනි අවිය ෆකිර්සාදේගේ මුහුණ ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර 13 ක් එල්ල කර තිබේ. ෆකිර්සාදේ අසල අසුන් ගෙන සිට බිරිඳට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. ෆකිර්සාදේ ඝාතනය කළේ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශයේ ඒජන්තවරුන් බවත්, ඔවුන්ට ඉරාන රජයේ මර්දනයට ලක්වුණු විපක්ෂ දේශපාලන සන්නද්ධ කණ්ඩායම්වල සහාය ලැබුණු බවත් ඉරාන විපලවීය හමුදාව චෝදනා කරයි.

 ඊශ්‍රායල ඒජන්තවරුන් ඇමෙරිකාවේ උපදෙස් අනුව ඝාතනය කළ බවත් කෘත්‍රිම බුද්ධි අවිය ඇමෙරිකාවේ නිෂ්පාදනයක් බවත් අද්මිරාල් අලී ෆඩානී වැඩිදුරටත් පවසා තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS