වැඩපොළේ හිජාබ් තහනමට යුරෝපා අධිකරණයෙන් අවසර



හිස් ආවරණ ඇතුළු දේශපාලනික, දාර්ශනික හෝ ආගමික සංකේත ප්‍රදර්ශනය වන පරිදි ඇඳුම් පැළඳුම් ඇඳීම තහනම් කිරීමට යුරෝපා සංගමයේ සේවායෝජකයන්ට අනුමැතිය ලබා දෙමින් යුරෝපයේ ඉහළම අධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.

නමුත් යම් සමාගමක් සිය සේවකයන්ට ඔවුන්ගේ ආගම, දේශපාලන මතය හෝ දර්ශනය නිරූපනය වන පරිදි සැරසීමෙන් වැළක්වීමට නීති පනවන්නේ නම් හුදෙක් වැඩපොළේ මධ්‍යස්ථ ලෙස සැරසීමේ අවශ්‍යතාව මත එම පියවර ගත යුතු බව යුරෝපා අධිකරණය සිය තීන්දුවේ සඳහන් කොට තිබේ. 

ඊට අමතරව සමාගමක් සිය ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීමක් පරිදි එම පියවර නොගත යුතු බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

සේවා ස්ථානවල හිස් ආවරණය පැළඳීම සම්බන්ධයෙන් යුරෝපා අධිකරණය තීන්දුවක් දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

බෙල්ජියම් සමාගමක පිළිගැනීමේ නිලධාරිනියක සේවයේ යෙදීමේදී සිය හිස් ආවරණය පැළඳීම හේතුවෙන් රැකියාවෙන් ඉවත් කරනු ලැබීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ල සැළකිල්ලට ගත් යුරෝපා අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 
යම් සමාගමක් සියලු ආගමික සංකේත සේවා ස්ථානයේ පැළඳීම තහනම් කිරීමට නීති පනවා ඇත්නම් යමෙකු හිස් ආවරණය පැළඳීමට විරෝධය පල කිරීම, ආගමක් මුල් කොටගෙන වෙනස් ලෙස සැළකීමක් වශයෙන් සැළකිය නොහැකි බව අධිකරණය පවසයි.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි...

 


RECOMMEND POSTS