වලහයි සිංහයයි බේරා ගැනේ



යුද ගැටුම් ඇවිළෙන ඉරාකයේ මොසූල් නුවර සත්වෝද්‍යානයක කුඩා කූඩුවලට කොටුවුණු වලසකු සහ සිංහයකු ඉරාක රජයේ හමුදා සහ ‘චැරිටි ෆෝ පෝව්ස්’ නමැති සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය එක් වී බේරා ගත් බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

මොසූල් නුවර ගැටුම් ආරම්භ වූයේ අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් නගරය අත්පත් කර ගැනීමෙන් පසුවය. මාස හයක දරුණු ගැටුම්වලින් පසු දැන් යළි කෙමෙන් කෙමෙන් නගරය ඉරාක හමුදා විසින් මුදා ගනු ලැබෙමින් පවතී.

කුසගින්නේ මරණ මංචකයේ සිටි මෙම වලහාටත් සිංහයාටත් වහා ප්‍රතිකාර ලබා දුන් බව පශු වෛද්‍යවරු කියා සිටිති. ගැටුම් සමඟ අතහැර දැමුණු සත්වෝද්‍යානයේ සිටියේ මෙම සතුන් දෙදෙනා පමණක් යැයි ද පැවැසෙයි.

වලසා සහ සිංහයා සිටි අතහැර දැමුණු සත්වෝද්‍යානය පෞද්ගලික සත්වෝද්‍යානයක් බව ද පැවැසෙයි.

‘චැරිටි ෆෝ පෝව්ස්’ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය කියා සිටියේ වලහා සහ සිංහයා ජෝර්දානයේ සත්වෝද්‍යානයක් වෙත රැගෙන යෑමට කටයුතු කළ බවය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS