වන්දනාකරුවන්ට විශේෂ ආරක්ෂාවක්



සෞදියට ඇතුළු වන හජ් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂයකට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදා ඇතැයි සෞදි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කර ඇත. ලොව නන්දෙසින් මුස්ලිම් බැතිමතුන් මිලියන දෙකකට වැඩි පිරිසක් මෙවර හජ් වන්දනාව සඳහා පැමිණ ඇතැයි සෞදි රජය කියයි.

සෞදි ඔටුන්න හිමි කුමරු මෙන්ම එරට ආරක්ෂක ඇමැතිවරයා ද වන මොහොමද් බින් සල්මාන් සෞදි ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී හජ් වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව ද වාර්තා වේ.

හජ් වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ  ගුවන් සේවා රැසක් ද ක්‍රියාත්මක වෙයි.

රතු අඩසඳ සංවිධානයේ මෙහෙයවීමෙන් සෞදි බැතිමතුන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය ආධාර කණ්ඩායම් ද සීරුවෙන් තබා ඇත. සියලු පහසුකම්ලින් සමන්විත ගිලන් රථ පමණක් නොව හෙලිකොප්ටර් යානා පවා යොදා ගන්නා බව වෛද්‍ය ආධාරකරුවෝ පවසති.

2015 වසරේ හජ් වන්දනාකරුවන් අතරේ තෙරපීමක් සිදුවිය. එයින් මියගිය ගණන 2,300 කි. ඔවුන්ගෙන් 464 දෙනෙක් ඉරාන ජාතිකයෝය. එවැනි තෙරපීම් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇතැයි ද සෞදි බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

මෙවර හජ් වන්දනාවට ෂියා මුස්ලිම් ඉරානයෙන් ද බොහෝ මැතිමතුන් පැමිණ ඇතැයි ද සෞදි රජය කියා සිටී. සුන්නි බහුතරයක් වෙසෙන සෞදිය සහ ෂියා මුස්ලිම් ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුද අර්බුදයක් පවතී. එසේ අර්බුදයක් පවතින අවස්ථාවක ඉරානයෙන් හජ් වන්දනාකරුවන් පැමිණීම සතුටට කරුණක් යැයි මුස්ලිම් ප්‍රජාව පෙන්වා දෙයි.

හජ් වන්දනා සමය ඇරැඹෙද්දී, සෞදිය සහ අසල්වැසි කටාර් රාජ්‍යය අතර අර්බුදයක් ඇති අවස්ථාවකදීය. ඒ, පසුගිය ජූනි 5 වැනිදා සිටය. අර්බුදයට හේතුවක් වූයේ කටාර් විදෙස් ප්‍රතිපත්ති සෞදියේ උදහසට හේතුවක් වුණු නිසාය. ඒ අනුව, කටාරය සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදිය කටයුතු කළේය. කටාර් සෞදි දේශසීමා වසා දැමීමට ද සෞදියේ සල්මාන් රජු අණ කළේය.

ඒ අනුව කටාර් වැසියන්ට හජ් වන්දනාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. හජ් වන්දනාව දේශපාලනීකරණයට ලක් වී ඇති බවත්, කටාර් වැසියන්ට හජ් වන්දනාව අහිමි කිරීම මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් ජගත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැවැසීය.

හජ් වන්දනාව සඳහා කටාර් වැසියන්ට ඉඩ ලබා දෙමින් එක් දේශසීමා පිවිසුමක් විවෘත කිරීමට සෞදි රජු තීරණය කළේය. ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් ද කටාර් වැසියන්ට සෞදියේ හජ් වන්දනාවට පැමිණීමට අවසර හිමිවිය.

සෞදියෙන් අවසර ලැබුණ ද මෙවර හජ් වන්දනාවට පැමිණි කටාර් වැසියන් ගණන ඉතා අඩු යැයි ද වාර්තා වේ. ඊට හේතුව හජ් වන්දනාවට පැමිණෙන කටාර් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සෞදියෙන් සහතිකයක් නොලැබීම යැයි ද මැදපෙරදිග පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS