ලොව හොඳම ගුරුවරිය තෝරයි



ලොව හොඳම ගුරුවරයා තේරීම සෑම වසරකම සිදු කෙරෙන අතර, මෙවර හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ බි්‍රතාන්‍ය ජාතික ගුරුවරියක වන අන්ද්‍රියා සෆිරෝකෝය.

හොඳම ගුරුවරියට හිමි සම්මාන ප්‍රදානෝත්වයට මෙවර ද ඉතා උත්කර්ෂවත් අන්දමින් ඩුබායිහි දී පැවැත්විණි. ඒ, ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටොම්ගේ ප්‍රධානත්වයෙනි.

හොඳම ගුරුවරයාට හිමි එම සම්මානයට අමතරව, අන්ද්‍රියා සෆිරෝකෝට ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණි.
සෑම වසරකම හොඳම ගුරුවරිය තේරීම සිදුකෙරෙන්නේ වාර්කි පදනමේ අනුග්‍රහයෙනි. මෙය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු ආයතනයකි. මෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරය.

හොඳම ගුරුවරයා වෙනුවෙන් මෙවර ද ලොව නන්දෙසින් ගුරුවරුන්ගේ නම් 30,000 ක් ඉදිරිපතවී තිබුණි. එම පිරිස අතරින් අවසන් වටයට 10 දෙනකු තෝරා ගැණින. ඔවුන් අතරින් අන්ද්‍රියා සෆිරෝකෝ ජයග්‍රහණය කළාය.

අන්ද්‍රියා සෆිරෝකෝ කලා විෂය උගන්වන ගුරුවරියකි. ඇය එක්සත් රාජධානියේ පිටිසරබද පළාත්වල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කරන්නියකි.

ඇයට හොඳම ගුරුවරයා ලෙස සම්මානය හිමිවූයේ ඇගේ එම කැපැවීම වෙනුවෙන් යැයි ද පැවැසිණි.

හොඳම ගුරුවරිය ලෙස අන්ද්‍රියා සෆිරෝකෝට සම්මාන ප්‍රදානය කළේ ද ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටොම්ගේ අතිනි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද විශේෂ ආරාධිත අමුත්තියක ලෙස සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වී සිටියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS