ලෙබනන් කතුන් ලේ තැවරුණු විවාහ ඇඳුමින් විරෝධතාවක



ලේ පැල්ලම් සහිත විවාහ මංගල ඇඳුමින් සැරසුණ ලෙබනන් කාන්තාවන් කණ්ඩායමක්  ලෙබනනයේ 'බේරුත්' අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉකුත් බදාදා (07) සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.

එම කාන්තා විරෝධතා ව්‍යාපාරය පැවැත්වූයේ  ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් බලපැවැත්වෙන මතභේදයකට ලක්ව ඇති නීතියක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙමින් පවතින අතර තුර වීම විශේෂත්වයකි.

ලෙබනන් පාර්ලිමේන්තු කමිටුවක් එරට අපරාධ නීති සංග්‍රහයේ 522 වගන්තිය අහෝසිකළ යුතුද නැද්ද? යන්න පිළිබඳව සළකා බලමින් ඇති අතර ඒ සම්බන්ධයෙන්  තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණි.

ස්ත්‍රී දූෂකයෙක් තමාට ගොදුරු වූ කාන්තාවක් විවාහ කරගනු ලබන්නේනම්, එම අපරාධයට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් බේරීමට ලෙබනන් දණ්ඩ නීති සංග්‍රහයේ එකී 522 වගන්තිය අනුව එම පුද්ගලයන්ට අවස්ථාව ලැබෙයි.

ස්ත්‍රී දූෂකයන්ට ගොදුරුවූ කාන්තාවන්ට තමන් ගොදුරු කරගත් අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහා ඇති අයිතිය එම වගන්තිය මගින් අසුරා ඇති බව ඊයේ (07) විරෝධතා ව්‍යාපාරයේ නිරතව සිටි කාන්තාවෝ පෙන්වා දුන්හ.

මේ අතර බාලවයස්කාර දැරියන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇති පුරුෂයන් එම දැරියන් විවාහ කරගැනීමට එකඟ වන්නේනම්, ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමට කෙටුම්පත් කළ වැඩපිළිවෙලක් අත්හැර දැමීමට තුර්කි ආණ්ඩුවට පසුගිය මාසයේ සිදුවිය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි........


RECOMMEND POSTS