ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වෙයි



බිහිසුණු පිපිරීමෙන් ලෙබනනයේ බේරූට් අගනුවර මහ ව්‍යවසනයකට මුහුණ දීමෙන් පසු රට තව තවත් නොසන්සුන් වීමට පටන් ගත් බැවින්, එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කළේය.

බේරූට් වරායේ සිදු වූ එම පිපිරීමෙන් බේරූට් අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර පිපිරීමෙන් දින දෙක තුනකට පසු රටපුරා, විශේෂයෙන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ඇති විය.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ අයට සාධාරණය ඉල්ලමින් ද පිපිරීම වළක්වා ගැනීමට හැකිව තිබියදී ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කරමින් ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට එක්රැස් වී විරෝධතාවල නිරත වූහ. රට තුළ ක්‍රියාත්මක දූෂණයට මෙන්ම දේශපාලන තන්ත්‍රයට ද ප්‍රකෝපයට පත්ව සිටින ලෙබනන වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ලෙබනනයේ ජීවනාලිය වන බේරූට් වරායේ ගබඩාවක තිබු ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,000කට වැඩි ප්‍රමාණයකට ගිනි ඇවිළීමෙන් එම පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. පිපිරීමේ කම්පනය ලෙබනනයට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනුණු අතර පිපිරීමෙන් ලෙබනන අගනුවර අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය.

අගෝස්තු මස 4 වැනිදා සිදු වූ මෙම මහ පිපිරීමෙන් මේ වනවිට 163 දෙනකුට ජීවිත අහිමි වූ අතර 6,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම පිපිරීමට පෙර සිටම ලෙබනන දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙමින් සිටි අතර පිපිරීම හේතුවෙන් එම  අර්බුද උග්‍ර අතට හැරී තිබේ.

ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දයිබ් රූපවාහිනිය ඔස්සේ රට වැසියන් අමතමින් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නිවේදනය කළේය.

“මේ අපරාධයට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු” යැයි ලෙබනන අග්‍රාමාත්‍යවරයා එහිදි කීය.

සාමාන්‍ය ලෙබනන ජනතාවගේ ඉල්ලීම්වලට සහාය දෙන බව ද අග්‍රාමත්‍යවරයා එම අවස්ථාවේදී කීය. හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි ඉල්ලන බව ද අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැවැසීය.

රොයිටර්


RECOMMEND POSTS