ලෙබනන් අගමැතිට ප්‍රංශයෙන් ඇරැයුමක්



මරණ තර්ජන හේතුවෙන් ධුරයෙන් ඉවත් වුණු ලෙබනන් අගමැති සාද් හරීරි සහ ඔහුගේ පවුගේ අයට ප්‍රංශයට පැමිණෙන්නැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇරැයුම් කර ඇති බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි.

තමන් ලෙබනන් අගමැති හරීරී සහ පවුලේ අයට ඇරැයුම් කරන නමුත් ඇරැයුම් කරන්නේ ඔවුන්ට දේශපාලන රැකවරණ දීමේ අරමුණකින් නොවන බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවධාරණය කර තිබේ.

මරණ තර්ජනවලට බියෙන් තමන් ධුරයෙන් ඉවත් වෙනවා යැයි හරීරි ඉකුත් දා ප්‍රකාශ කළේ සවුදියේ රියාද් නුවර සිට මාධ්‍ය හමුවක් පවත්වමිණි. තමාට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයෙන් සහ ඉරානයෙන් යැයි ද හරීරී චෝදනා කර තිබේ.
ඉරානය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ හරීරී තවමත් සෞදියේ රැඳී සිටී.

ඔහු සෞදියේ සිරකරුවකු බවත් සෞදියේ බලපෑම් මත ධුරයෙන් ඉවත් වීමට පියවර ගත් බවටත් හිස්බුල්ලා සංවිධානය චෝදනා කරයි.  ‘මම නිදහසේ ඉන්නවා. සිරකාරයෙක් නොවේ. ඉක්මණින් මම ආපසු ලෙබනනයට එනවා’ යැයි ඊට පිළිතුරු දෙමින් හරීරි පවසා ඇත.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS