ලෙබනනයේ වන සතුන් නිදහසේ සරති



කොරෝනා වයිරසය හේතුවෙන් ලෙබනන් ජාතිකන් තම නිවෙස්වලට කොටුවී සිටින බැවින් මධ්‍යධරණීය සංචාරක පක්ෂීණ් නගරවල බහුලව සැරිසරමින් සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකියැයි පරිසරවේදීහු පවසති.

මේ සම්බන්ධයෙන් කුරුළු නිරීක්ෂකයන් දැඩි උනන්දුවකින් පසුවන අතර බේරූට් මුහුදු වෙරළට ඉහළින් පැමිණෙන පෙලිකන් ඇතුළු කුරුළු විශේෂ රැසක් පිළිබඳ ඔවුන් වාර්තා රැස්කරමින් සිටියි.

ලෙබනනය යනු අප්‍රිකාවේ සිට යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වන පක්ෂීන් සඳහා ‍ලෝකයේ වඩාත්ම වැදගත් ගමන් මාර්ගයකි. මිලියන සිය ගණනක් පක්ෂීහු සෑම වසන්ත සෘතුවකදී ම ලෙබනනය හරහා දිගු ගමනක යෙදෙති. ‍මේ කුරුල්ලන් පැය කිහිපයක සිට සති කිහිපයක් දක්වා කාලයක් ලෙබනනයේ නතර වෙයි.

සංක්‍රමණික පක්ෂීන්ගේ දර්ශනය දැකිය හැකිවන්නේ ඔවුන්ගේ ප්‍රධාන සංක්‍රාන්ති ස්ථානයක් වන සශ්‍රීක බෙකා නිම්නයේය.  නැතිනම් ඉන් බාහිර පෙදෙස් හි ඔවුන් සොයන අයට පමණක් දැකගත හැකිවේ. නමුත් මේ වසරේ දී සියල්ල වෙනස් වී ඇත.

''නගරවල පවා මින් පෙර කිසිදු දිනක දැකනැති ආකාරයට පක්ෂීන් සැරිසරනු පෙනෙන්නට තිබෙනවා. කුරුලු නිරීක්ෂකයන් සහ ඡායාරූප ශිල්පීන් තරඟයට මෙන් ඔවුන්ගේ ඡායාරූප ගන්නවා. මුහුදු වෙරළේ ද ඇත්තේ එවැනිම තත්ත්වයක්." යැයි සොබාදහම සුරැකීමේ ව්‍යාපෘතියේ කළමනාකරු මහහර් ඔස්ටා පැවසීය.

ඉතා ජනාකීර්ණ බේරූට් සහ අවට තදාසන්න ප්‍රදේශවල සංක්‍රමණික පක්ෂීන් කැදලි තනා තිබෙන ආකාරය ද එම ව්‍යාපෘතියේ සාමාජිකයන් විසින් නිරීක්ෂණය කර ඇත. මින් පෙර වාර්තා නොවූ පක්ෂි විශේෂ 10ක් බේරූට්වලන් සොයාගත හැකි වූ බව ද ඔවුන් පවසයි.

බෙකාහි අම්මික් තෙත්බිමෙහි වනජීවීන් වඩාත් සමීපව දැකගත හැකි වීම ද මේ දිනවල කැපී පෙනෙන ලක්ෂණයක් වී ඇත

''මගේ වත්තේ පළමු වරට දකින කුඩා පක්ෂීන් ඉන්නවා. එයට හේතුව මා දන්නේ නැහැ. ශබ්ද අඩුයි, වාහන අඩුයි, ගුවන් යානා අඩුයි මේ නිසා ඔවුන් වඩාත් සන්සුන් පරිසරයේ නිදහසේ සැරිසරනවා ඇති." තෙත් බිම අසළ ගම්මානයක් වන මන්සෝරා හි ගොවියකු වන 35 හැවිරිදි එසැට් ටහා පැවසීය.

"සොබා දහමේ සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි මම දන්නේ නැහැ. නමුත් එය ඉතා හොඳ දෙයක් බවනම් පෙනෙන්නට තිබෙනවා." ඔහු කීවේය.

අවට පදිංචිකරුවන් පවසන්නේ රන්වන් හිවලුන් දිනපතාම අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ නිවෙස් අසළම ඇති පළතුරු වතු හරහා ගමන්කරනු දැකිය හැකි බවයි.  ඇවිදින මංතීරුවල ගමන් කරන්නන් නොමැතිවීමත් සමගම සත්ත්ව විද්‍යාත්මකව හයිලා සැවිග්නි ලෙස හඳුන්වන කුඩා ගස් ගෙම්බන් එවැනි මාර්ගවල බහුලව දැකිය හැකි බව ද ඔවුහු කියති.

''සොබා දහම වෙනස් වෙමින් පවතිනවා." ඔස්ටා පවසයි.


RECOMMEND POSTS