ලෙබනනයේ අවුරුදු සිරි !



ලෙබනනයේ වෙසෙන ලාංකික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් සිංහල සහ දෙමළ අවුරුදු උත්සවය එරට ශ්‍රී ලංකා තානාපති එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න  මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ඉකුත් 15 වැනිදා එරට සලූමේහ්  හි පේරෙස් යුනීස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වන අන්දමින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කළ අතර එහිදී අලුත් අවුරුදු සිරිත් විරිත්, ජන ක්‍රීඩා අංග සියල්ලක්ම පැවති අතර එයට ලෙබනනයේ වෙසෙන හා එරට විවිධ රැකියාවන් හි නියුතු ලාංකිකයින් හා හා පවුල් වල රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

අවුරුදු උත්සවය අරඹමින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ අවුරැදු පණිවිඩය ලාංකික ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවාය.

ඉන්පසුව පැමිණි සිටි පිරිසගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවයන් හි ප්‍රධාන අංග වන බනිස් කෑම , කොට්ටා පොර් , සිගිති අවුරුදු කුමාරිය තේරීම , ඉදිකට්ටට නූල දැමීම , කණා මුට්ටිය බිදීම , අවුරුදු කුමාරයා තේරීම යන තරග පැවැත්වීය.මේ සදහා ලාංකික ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල් වල උදවිය මහත් උද්යෝගයෙන් යුතුව සහභාගී විණි.

මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් පැවැති මෙම අවුරැදු උත්සවය වර්ණවත් කිරීමට ශ්‍රී ලංකා තරුණ සභාවේ ගායකයින් දෙපළක්ද ,ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නර්තන කණ්ඩායමද එක්විණි.ඊට අමතරව එරට වෙසෙන ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් කිහිප දෙනෙක් උඩරට හා පහතරට නර්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කරන ලදී.


RECOMMEND POSTS