ලිබියාවේ සටන් විරාමයක්



ලිබියානු රජය සහ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා සටන්කාමීන් අතරේ සටන් විරාමයක් ලබන ඉරිදා (12) මැදියම් රැයේ සිටි ක්‍රියාත්මක වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසූහ.

සිරියානු සංචාරයකින් පසු, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ගොස් තුර්කි ජනාධිපති එර්දොවාන් හමුවිය. ඒ, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සහ ලිබියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

ගඩාෆි ඝාතනයෙන් පසු, ලිබියාවේ රජයක් පිහිටුවීම සිදුවූයේ නේටෝ සංවිධානයේ මැදිහත් වීමෙනි. නේටෝ හමුදාවේ අධීක්ෂණයේ ලිබියානු රජයේ හමුදාව පිහිටුවිණි. ගඩාෆි පාලනයට එරෙහිව අවිගෙන සටන් වැදුණු සන්නද්ධ කල්ලි බොහොමයක් මෙම හමුදාවට එක් විණි.

අද වනවිට ලිබියාවේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, ලිබියා හමුදාපති ජනරාල් කලීෆා හෆ්තාර් සහ ඔහුට හිතවාදී සෙබළුන්, රජයට එරෙහිව සටන් ආරම්භ කිරීමය. ජනරාල් කලීෆා හෆ්තාර් ට ලිබියාවේ සෙසු සන්නද්ධ කල්ලිවල ද සහාය හිමිවෙයි.

රුසියාවේ සහාය ද හෆ්තාර්ගේ පාර්ශ්වයට හිමිවෙයි. තුර්කිය රුසියාවය චෝදචනා කරන්නේ රුසියාවේ කුලී හේවායන් 2,500 ක බළඇණියක් ජනරාල් හෆ්තාර්ගේ කැරැලිකාර හමුදාවට සහාය දක්වමින් ලිබියාවේ සිටින බවය. කෙසේ නමුත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ජනරාල් හෆ්තාර්ගේ කැරැලිකාර හමුදාව හැඳින්වෙන්නේ ‘ලිබියානු ජාතික හමුදාව’ යන නමිනි. රුසියාවට අමතරව, ජනරාල් හෆ්තාර්ගේ ‘ලිබියානු ජාතික හමුදාව’ ට ඊජිප්තුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ජෝර්දානය සහාය පළ කරයි.

රුසියන් ජනාධිපති පුටින් සහ තුර්කි ජනාධිපති එර්දොවාන් අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. එම සාකච්ඡා සාර්ථක වූයේ ජර්මනියේ මැදිහත් වීමෙනි. පුටින් සහ එර්දොවාන් ඉස්තාන්බුල් නුවර හමුවෙද්දී, ජර්මන් විදේශ ඇමැති හෙයිකෝ මාස් ද ඉස්තාන්බුල් පැමිණ සිටියේය.

ලිබියානු අර්බුදය සිරියානු අර්බුදය තෙක් දුරදිග යෑමට ඉඩ නොතබා වළක්වා ගැනීම සටන් විරාමයේ අරමුණ යැයි ජර්මන් විදේශ ඇමැතිවරයා එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. ලිබියානු අර්බුදයේ දී නේටෝ සාමාජිකයකු වන තුර්කිගේ සහාය හිමිවන්නේ ලිබියානු රජයට සහ රජයේ හමුදාවටය. ලිබියානු රජයේ හමුදාවේ සහායට සොල්දාදුවන් යැවීමට තුර්කි ජනාධිපති තීර්ණය කළ අතර, තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ඊට හිමිවිය.

ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS