රොව්හානී ට්‍රම්ප්ට දෙහි කපයි



එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සහභාගී වන ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමුළුව අමතමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විවේචනය කළේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඉරානය දකින්නේ ‘සතුරකු’ ලෙස යැයි ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පරිපාලනය සහ ඇමෙරිකන් රජය එක් වී යළිත් වරක් ඉරානයට සම්බාධක පැනැවීමට ද කටයුතු කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති හසන් රොව්හානි සිය විරෝධය මෙන්ම කනගාටුව පළ කළේය.

ජනපති ට්‍රම්ප් ජගත් මහ සමුළුව ඇමැතුවේ 19 දා ය. ජනපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් ජගත් මහ සමුළුවක් ඇමැතූ පළමු අවස්ථාව මෙය විය. සමුළුව ඇමතමින් කළ දේශනයේ දී ජනපති ට්‍රම්ප් ඉරානයට දොස් නැගුවේය. ඉරානයේ පවතින්නේ ‘හිතුවක්කාර රෙජීමයක්’ යැයි ට්‍රම්ප් පැවැසීය. ඉරානය ලෝක බලවතුන් සමඟ ඇති කරගත් පොදු එකඟතාව උල්ලංඝනය කරන බවට ද චෝදනා නැගුවේය.

ඉරාන ජනාධිපති රොව්හානිගේ දැඩි විරෝධයට මෙම ප්‍රකාශය හේතුවක් විය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පරිනත දේශපාලන දැක්මක් ඇති අයකු නොව හිතුවක්කාර තීරණ ගන්නා අයකු යැයි ජනපති හසන් රොව්හානී පැවැසීය. තමා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ගැන අනුකම්පා කරන බව ද ජනපති රොව්හානි වැඩි දුරටත් කියා සිටියේය.

ඉරානය වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සම්බාධකවලින් පීඩාවට පත් වී සිටි රාජ්‍යයක් විය. ඒ, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව බටහිර රටවල පිළිගැනීම වී තිබුණි.

2015 දී, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් එක් වී, ඉරානය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා පොදු එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ අනුව න්‍යෂ්ටික අවි නිපදවීමට අවශ්‍ය මට්ටමින් යුරේනියම් බලගැන්වීමක් නොකරන බවටත්, යුරේනියම් බලගැන්වීම් කරන්නේ රටේ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට පමණක් බවටත් ඉරානය ප්‍රතිඥා දුන්නේය. ඒ වනවිට ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූයේ ද මධ්‍යස්ථ මතධාරී හසන් රොව්හානිය. රොව්හානි මේ වනවිට සිය දෙවැනි ධුර කාලයේ රැඳී සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS