රුසියන් ජනපති පුටින් තුර්කි ජනපති හමුවෙයි



 

(රොයිටර්)

සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් අතරේ පෙරේදා (10) විශේෂ හමුවක් පැවැත්විණි.

එම හමුව පැවැත් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදීය. රුසියානු ජනාධිපති පුටින් ඉස්තාන්බුල් නුවරට පැමිණියේ ජගත් බලශක්ති සමුළුවට සහභාගීවීමටය. තුර්කියට පැමිණි රුසියන් ජනපති මහත් හරසරින් පිළිගැනීමට ජනාධිපති එර්ඩෙගොන් කටයුතු කළේය. සිරියානු අර්බුදය ගැන පුටින් සහ එර්ඩෙගොන් අතරේ සාකච්ඡා පැවැත් වූයේ සමුළුව අවසන් වීමෙන් පසුවය. ජගත් බලශක්ති සමුළුවට වෙනිසියුලා ජනාපති නිකලස් මදුරෝ ද සහභාගී වූයේය. 

සිරියාව සම්බන්ධනේ පැවැති සාකච්ඡාවලින් පසු ජනපතිවරු දෙදෙනා එක් වී, විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වූහ. එහිදී ජනාධිපති පුටින් කියා සිටියේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු, සිරියාව වෙනුවෙන් සටන් විරාමයක් සහ සාම ගිවිසුමක් සකස් කිරීමට තුර්කි ජනපති එර්ඩෙගොන් කැමැත්ත පළ කළ බවය.

මේ වනවිට සිරියාවේ ඇලෙප්පෝ නුවරට සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරයි. සිරියාවේ දෙවැනි විශාලතම නගරය වන ඇල්පේපෝ ඇත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේය.

සිරියානු හමුදා එල්ල කරන එම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් මිය යනවා පමණක් නොවේ, තුවාල ලැබූ බොහෝ දෙනා අසරණ තත්ත්වයට පත් වී සිටිති. මොවුන් අතරින් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

ඇලෙප්පෝ නුවර විපතට පත් වුණු වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දිය යුතුයි යන්න රුසියාවේ අදහසය. තුර්කි ජනපති සමඟ සාකච්ඡා පවත්වමින් පුටින් ඒ බව අවධාරණය කළේය. පසුගිය රාමදාන් සමයට සමගාමීව සිරියාවට සටන් විරාමයක් සකස් කර දීමට රුසියාව පියවර ගත්තේය. ඒ රුසියාව සහ ඇමෙරිකාව එක් වෙමිනි. කෙසේ නමුත් එම සාම කතා අසාර්ථක විය. 

ඇලෙප්පෝ නගරයට සිරියානු ගුවන් හමුදාව පහර දීම ආරම්භ කළේ සටන් විරාමය අඩපණ වූ අවස්ථාවේදීය. රුසියාව චෝදනා කළේ සටන් විරාමය අසාර්ථක වූයේ ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත් නිසා බවය.

ඇමෙරිකාව සිරියානු රජයට සහාය නොදෙයි. ඔවුන් සහාය දක්වන්නේ සිරියානු විපක්ෂයටය. සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ අල් කයිඩා සංවිධානයත්, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත් වෙන වෙනම සම්බන්ධ වී සිටී. ඉරාන හමුදා ද සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටප සහ හමුදාවට සහාය දෙමින් සිරියාවේ යුද ගැටුම්වලට සම්බන්ධ වී සිටී. මේ ගැන ඇමෙරිකාවේ ප්‍රසාදයක් නැත.

පසුගිය වසරේ සිරියානු රජයට සහාය දක්වමින්, ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ල කළ රුසියන් ප්‍රහාරක ජෙට් යානයක් තුර්කි ගුවන් සීමාවට පිවිසුණේය. ඒ ගැන විරෝධය දක්වමින් තුර්කිය කළේ එම රුසියන් ගුවන් යානය පහර දී බිම හෙළීමය. සිරියාව තුර්කියේ අසල්වැසියාය.

එම සිදුවීමෙන් පසු තුර්කිය සහ රුසියාව අතර ඇයිහොඳයිකම් මුළුමනින්ම ඇණහිටියේය. කෙසේ නමුත් මීට මාස කිහිපයකදී තුර්කිය දැඩි තීරණයක් ගත්තේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පළමුවෙන් විනාශ කර දමා, සිරියාවට සාම සැලැස්මක් ගෙන ආ යුතු බවය. ඒ අනුව, තුර්කි රජය සිරියානු තුර්කි දේශසීමාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට පහර දී ඔවුන් අඩපණ කර දැමුවේය.

ඒ අනුව, රුසියන් ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන්, තුර්කි ජනපති එර්ඩෙගොන්ගෙන් සමාව ඉල්ලීමය. වහාම තුර්කියට සමාව දී, එම සමාව ඉල්ලූ අවස්ථාවේ පටන් යළි මිතුදම් ආරම්භ කිරීමට ජනපති පුටින් කටයුතු කළේය.


RECOMMEND POSTS