රාජ්‍ය ද්‍රෝහීන්ට සමාවක් නෑ



අසාර්ථක තුර්කි හමුදා කුමන්ත්‍රණයේ වාර්ෂික සැමරුම වෙනුවෙන් තුර්කියේ අන්කාරා නුවර සැමැරුම් උත්සවයක් පැවැත්වුණු අතර එහිදී තම ආධාරකරුවන් අමතමින් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් කියා සිටියේ රාජ්‍යද්‍රෝහීන්ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන්ගේ හිස ගසා දමන බවත්ය.

තුර්කි රජය උත්සාහ ගන්නේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමටය. ඒ සඳහා රජයේ අනුමැතිය ජනපති එර්ඩෙගොන්ට පහසුවෙන් හිමි වනු ඇතැයි තුර්කි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

සැමරුම් උත්සවය සංවිධානය කරනු ලැබ තිබුණේ ද ජනාධිපති එර්ඩෙගොන්ගේ පක්ෂ සාමාජිකයන් විසිනි. සැමැරුමට ජනපති එර්ඩෙගොන්ගේ පාක්ෂිකයෝ දහසකට වැඩි පිරිසක් රතු ඇඳුමින් සැරැසී, තුර්කි ධජ අතින් ගෙන සහභාගී වූහ.

‘ගිය වසරේ හමුදාව උත්සහ කළා මාව බලයෙන් ඉවත් කරලා රටේ බලය අල්ලා ගන්න. ඒත් මට හිතවත් තුර්කි ජනතාව වීදි බැස්සා. ඔවුන් අවි අතැතිව සිටි හමුදා සොල්දාදුවන්ට අභියෝග කළේ නිරායුධව. මා වෙනුවෙන් මියැදෙන්න පවා එදා තුර්කි වැසියෝ බිය වූයේ නැහැ.’ යැයි ජනපති එර්ඩෙගොන් රැස්ව සිටි පිරිසට පැවැසීය.

බලතල වැඩිකර ගනිමින්, දිගටම බලයේ රැඳී සිටිමින්, විපක්ෂ දේශපාලන පක්ෂ පීඩාවට ලක්කරනවා යැයි චෝදනා කරමින්, තුර්කි හමුදා ප්‍රධානීන් පිරිසක් නායකත්වය දී එම හමුදා කුමන්ත්‍රණය ආරම්භ කළේ පසුගිය 2016 වසරේ ජූලි 15 වැනිදාය.

ජනපතිවරයාට පක්ෂය තුර්කි වැසියන් වීදි බැස හමුදාවට එරෙහි වූ හෙයින් කුමන්ත්‍රණය ආරම්භ වෙද්දීම අසාර්ථක විය. ඊට සම්බන්ධ දහසකට වැඩි පිරිසකට දැඩි දඩුවම් පැනැවීමට ජනපතිවරයා ඉන්පසු පියවර ගත්තේය. හමුදා සොල්ලාදුවන්, හමුදා ඉහළ නිලධාරීන් පමණක් නොව, විපක්ෂ ක්‍රියාකාරීන්, විද්වතුන්, සරසවි සිසුන් ආදී බොහෝ දෙනෙක් එසේ දඬුවම් ලැබූ පිරිස් අතර සිටිති.

(රොයිටර්)


RECOMMEND POSTS