රම්ප්ගේ තීරණය බලරහිත කරන්න සාකච්ඡා



ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය බල රහිත කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජිකයන් අතරේ සාකච්ඡා වන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රබල නිත්‍ය සාමාජිකයා වන්නේ ඇමෙරිකාවය. ට්‍රම්ප්ට විරෝධය එල්ල වී ඇත්තේ සෙසු නිත්‍ය සාමාජිකයන් වන ප්‍රංශය, බි්‍රතාන්‍යය සහ චීනයෙනි. මෙම අර්බුදයේ දී නිහඬව සිටීමට රුසියාව කටයුතු කර ඇතැයි ද වාර්තා වේ. මෙම සාමාජික රටවල් එක් වී ට්‍රම්ප්ගේ නියෝගය බල රහිත කිරීමෙහිලා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට උත්සහ දරයි.

ජනපති ට්‍රම්ප්, ඊශ්‍රායලයට පක්ෂපාතී වන අයුරින්, ජෙරුසලම එරට අගනුවර ලෙස පිළිගැනීමෙන් පසු ඊශ්‍රායල පලස්තීන ගැටුම් උත්සන්න වී ඇති අතරම, මැදපෙරදිග සාමයට එය විශාල බාධාවක් ද වී ඇතැයි පැවැසෙයි. පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ දරුණු ගැටුම් සිදුවන බව ද වාර්තා වේ.

මේ අතර, මුස්ලිම් රටවල් ඒකමතිකව එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබේ. ඒ, පලස්තීන පාර්ශ්ව සතු වැඩි බලතල ඇති නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර බවට නම් කරන ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS