රතු මුහුදේ හෝටල්



රතු මුහුදේ පිහිටි දූපත් සහ වෙනත් ස්ථාන පනහක් සුඛෝපභෝගී සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් සෞදි අරාබි රජය විසින් දියත් කරනු ලැබ ඇත.

සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු අරම්භවීමට නියමිතව ඇත්තේ 2019 වසරේදීය.එහි පළමු පියවර වශයෙන් අලුත් ගුවන් තොටුපලක් මෙන්ම සුඛෝපභෝගී සංචාරක හෝටල් සහ නිවාස ඉදිකිරීමට නියමිත අතර ඒවායේ වැඩකටයුතු 2022 වසරේ සම්පූර්ණ කිරීමට නියමිතය.

සංරක්ෂිත කොරල් පර, අක්‍රිය ගිනි කඳු සහ දුර්ලභ ගණයේ දිවියන් සහ උකුස්සන් වෙසෙන ස්වාභාවික වනජීවී කලාප සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා ස්ථාන අතර වේ.

සංචාරක කලාපය ඉදිවන්නේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙන '2030 දැක්ම' ව්‍යාපෘතියේ කොටසක් වශයෙනි.'2030 දැක්ම' මූල්‍ය පදනමට අනුව සෞදි අරාබියේ බටහිර වෙරළ තීරයේ කිලෝමීටර 200 සීමාවක් ආවරණය වන පරිදි ඉහත කී සංචාරක නිකේතන ඉදිකිරීමට නියමිතය.

ඉහත කී ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ තෙල් මිල පහළ යාමත් සමග සෞදි ආර්ථිකය වෙනත් ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි.එම සංචාරක නිකේතන ඉදි වන්නේ විදේශීය සහ දේශීය සංචාරකයන් ද ඉලක්ක කර ගනිමිනි. සංචාරක කලාපය තුළ දී සංචාරක වීසා බලපත්‍ර සම්බන්ධයෙන් පවතින සීමා ලිහිල් කිරීමට ද නියමිතය.

කෙසේ නමුත් ගතානුගතික මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබියේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පවතින සීමා ඉහත කී සංචාරක කලාපය තුළ දී ලිහිල් වනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී නිව්ස් ඇසුරෙනි


RECOMMEND POSTS