රජයක් පිහිටුවන්නැයි නෙදන්යාහුගෙන් ඉල්ලීමක්



නව රජයක් පිහිටුවන්නැයි ඊශ්‍රායල ජනාධිපති රියුවෙන් රිව්ලින්, අගමැති බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇතැයි ඊශ්‍රායල ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල මහ මැතිවරණ පසුගිය 17 වැනිදා පැවැත්විණි. ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. බහුතර බලය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුව ඇත. අවසන් ප්‍රතිඵල අනුව නිල් සහ සුදු සන්ධානයට ආසන 33 ක්  ද නෙදන්යාහුගේ ලිකුද් පක්ෂයට ආසන 32 ක් ද දිනා ගත්තේය. එහෙයින් කිසිවකුටවත් ජයග්‍රහණයක් හිමි නොවිණි.

රජයක් පිහිටුවීමට එක්වන්නැයි නෙදන්යාහු ප්‍රතිවාදී අපේක්ෂක නිල් සහ සුදු සන්ධානයේ නායක හිටපු හමුදාපතිවරයකු ද වන බෙනී ග්‍රාන්ට්ස්ට ඇරැයුම් කළේය. ග්‍රාන්ට්ස් එම ඇරැයුම පිළිගත්තේ නැත.

මේ අතර, ඊශ්‍රායලයේ ප්‍රධාන අරාබි දේශපාලන පක්ෂ හිටපු හමුදාපති බෙනී ග්‍රාන්ට්ස් සහ ඔහුගේ නිල් සහ සුදු සන්ධානය සමඟ එක්වී, නව රජයක් පිහිටුවීමට ග්‍රාන්ට්ස්ට සහාය දක්වන බව පවසා ඇත.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS